Monday, May 16, 2011

ස්වර්ණවිමානෙන් එහා ලෝකය

ස්වර්ණවිමානෙන් එහා ලෝකය

අපි පහුගියදා කොටුවෙ බස් නැවතුම්පලට එකතුවුනේ මහියංගණය පැත්තෙ චාරිකාවක් යන්න හිතාගෙනයි.දිග සතිඅන්තයක් නිසා මහියංගණය බසයට අපි හිතුවට වඩා සෙනඟ හිටියත් අපේ වාසනාවට වගේ කොහෙදෝ සිට ආ අම්පාර බසයේ පිටුපස අසුනේ වාඩිවෙන්න අපිට හැකිවුනා.11.45 බසයේ යන්න හිතන් ආවත් අන්තිමට අපි 10.45 එකේ ගිය නිසා අපිට සිදුවුනේ හිමිදිරි අළුයම ගුරුලුපොතෙන් බහින්නයි.
උදේ පාන්දරම අපි බැහැල තියෙන්නෙ මළ ගෙයක් ලඟිනුයි.උදේ තේ එක එතනින් ගන්න හිතුවත් ඒ අදහස වෙනස් කර ගත් අපි පැයක් විතර කඩයක් අරිනකන් බලන් හිටියා.කඩේ හිටපු නංගිට වඩා සැර ලුණුමිරිස කාපු අපේ කන් වලින් දුම් පිටවුනා.පසුව මරණ ගෙදර නොගිය එක පිළිබඳව පසුතැවිලි වුනු මනොජ් නුදුරු දිනෙක ගුරුලුපොතෙන් නිවසක් ගැනීමට පවා හිතා ගත්තේ සීතාගේ වත්මන් පරපුර තවමත් එහෙ වෙසෙන බව කියමිනි ;).කෙසේ හෝ  අපි උදැසන 7ට විතර සීතාකොටුව බලන්න යන්න පිටත්වුනා.ජනප්‍රවාදයේ හැටියට රාවණ රජතුමා සීතාව හිරකරගෙන හිටියෙ එතනලු.අපි කැලේ ඇතුලෙන් ඇලක් අයිනෙන්  වැටුනු අඩි පාරක් දිගේ දිගටම ගමන් කලා.අන්තිමට අපි ගිහින් නතර වුනේ සීතාකොටුව ලඟින් නම් නෙමෙයි ගෙයක් ලඟින් :).එතකොට තමයි අපිට තේරුනේ අපි වැරදි පාරක ඇවිත් කියලා.ඒක නිසා අපි ආයෙත් පාර අහගෙන සීතාකොටුව බලන්න හිතාගෙන කැලය තුලට වැදුනා.
පාරාදීසයට යන පාරදිගේ
අපි මේ පාර ගමන පටන් ගත්තෙ අමුණක් ලඟින්.අසාගත් විදියට අමුණට වතුර ලැබෙන දොලපහර දිගේ ඉහලට ගියාම සීතා කොටුව බලන්න පුලුවන්.ගමන පටන් ගෙන සුළු වේලාවකින්ම අපිට පාර වැරදුනු එක හොඳයි කියලා හිතුනෙ අවට පරිසරයෙ ලස්සන දැක්කාමයි.රූස්ස තුරු වියන යටින් කුඩා දිය ඇලි පොකුණු හදමින් ගලා යන දොලපාර පාරාදීසයට යන පාරක් දැයි විටෙක හිතුනා.කිලෝමීටර් 1 1/2 විතර මේ පරාදීසයට යන පාරදිගේ ගියාම අපිට ලොකු ප්‍රශ්නෙකට මුහුණපාන්න සිදුවුනේ දොල පහර අතුවලට බෙදී තිබුන නිසයි.වාසනාවට වගේ අපි ලඟ තිබුනු සිතියමත් මාලිමාත් නිසා යා යුතු පැත්ත හොයාගන්න අපහසු වුනේ නෑ.
තවත් කිලෝමීටරයක් විතර ගියාම අපිට දිය ඇල්ලක් දැක ගන්න පුලුවන් වුනා.කොටස් 3ක්ට ඇදහැලෙන දිය ඇල්ලේ මුලු උස නම් මීටර් 40-50ක් විතර ඇති.එතැන ටිකක් වෙලා ගතකලාට පසුව අපිට නැවතත් ප්‍රශ්නයට මුහුණපාන්නට වුයේ දැන් දිය පහර දිගේ ඉහලට ගමන් කල නොහැකි නිසයි.දිය ඇල්ල මුදුනට නඟින්න උත්සහ කලත් එයත් අසාර්ථක වූයේ ගමන ඉතා අවදානම් හා ගමන් කල නොහැකි ලෙස කැලය වැවී තිබූ හෙයිනි.එම නිසා නැවතත් සිතියමේ හා මාලිමාවේ පිහිට පැතූ අපි ප්‍රපාතාකාර නැග්මක් ඔස්සේ ඉහලට ගමන් කලේ තව කොතෙක් දුරක් යා යුතුදැයි දෑනීමකින් තොරවයි.

මෙසේ ටික දුරක් ගමන් කල අපිට සැනසුම් සුසුමක් හෙලුනේ වාහනයක හඬ ඇසුනු විටයි.අන්තිමට අපි නැවතත් ප්‍රධාන මාර්ගයට පිවිසුනත් සීතා කොටුව කොටුව අපිට මඟ හැරී තිබුනා.ඒත් පාරදීසයට යන පාර දිගේ  කල ගමනෙන් ලැබූ අත්දැකීම් නිසා  ඒ ගැන දුකක් නම් හිතුනෙ නෑ.අපි පාරට ආවත් ඉන්නෙ කොහෙද කියලනම් කිසිම අවබෝධයක් තිබ්බෙ නෑ.අපි නිකමට පාර දිගේ මීටර් 100ක් විතර ගමන් කලාම අපිව එක්වරම පුදුමයට පත්වුනේ උදෑසන ආහාර ගත් කඩය දුටු නිසයි.අපි එකතැන කිලෝමීටර් 5-6 පමණ වටයක් ගොස් තිබුණා :).



ගුරුළුපොතෙන් හසලකට ගිය අපි දිවා ආහාරයත් රැගෙන එකේ ඇල සොයාගෙන ගියේ නා ගෙනම දිවා ආහාරය ගන්නට හිතාගෙනයි.දෙකේ ඇලේ පුංචි මාළු ගැන පංති යන නංගි කෙනෙක් ගෙන් අහන්න ගිය මනොජ් වතුරෙන් නාන්න ඉස්සෙල්ලම ඇදගෙන නා ගත්තා.අපි අන්තිම කොහොම හරි එකේ ඇලට පැන විඩාව නිවී යනතෙක් නා ගත්තා.එතැනින් නාගෙන දිවා ආහාරයත් ගෙන අපගේ රාත්‍රී නවාතැන වන සොරබොර වැවට යාම සඳහා මහියංගණය බසයකට නැඟුනෙමු. 
මහියංගණේ සිට සොරබොර වැවට පයින් යාමට එකඟ වූ  අපි අයිස් පැකට් කමින්  කිලෝමීටර් 3ක පමණ ගමනකින් අනතුරුව සොරබොර වැවට පැමිණුනා.එක් වරම වැව දුටු අපි විශ්මයට පත්වුනේ වැවේ විශාලත්වය හා අලංකාරය නිසයි.වැව් බැම්ම දිගේ ඇවිදගිය අපි වෙහෙස නිවාගෙන රාත්‍රී නවාතැන්පල වන වැව් ඉවුරට යාම සඳහා අපි ඔරුවකට නැඟුනේ එහි ගැමියෙකු සමඟ අප කලින් කතාකර ගත් පරිදියි.හිරු කඳු අතරින් සැඟවී යාමට ආසන්න වේලාවේ ඔරුවක නැඟී ගමන් කිරීම ඉතා සුන්දර අත්දැකීමක් වූවා.


අපේ නිවහන
වැව ඉවුරට පැමිණි වහාම ඇඳුම් මාරු කරගත් අපි වැවට පැන්නේ ගමන් විඩාව නිවා ගැනීමටයි.නොගැඹුරු වැව් ඉවුරේ  ඈතට ගමන් කල අපි රිසි සේ නාමින් විනෝද වූ වීමු.එක් එක්කෙනා ඉහලට විසි කරමී ඉතා විනෝදජනක දෙයක් විය.නමුත් සංජීව එසවීමට ගත් උත්සහය පලක් නොවූයේ අපට තබා දොඹකරයකට වත් ඔහුව එසවීම අපහසු කාර්යයක් වන හෙයිනි.ගීතාල්ගේ අධිෂ්ඨානය වූයේ පිහිනීමට ඉගෙනගෙන මිස වැවෙන් ගොඩට නොයෑමටයි.අවසානයේ ඔහු එකතැන පිහිනීමට හැකිවීම ගැන සතුටු වී වැවෙන් ගොඩට ආවේය..කඳු අතරින් හිරු සැඟවී යද්දී ඈත පාවෙන ඔරුවක දසුන දුටුවිටයි ස්වර්ණ විමානෙට එහා ලෝකයේ සිටින බව හැඟුනේ.ගැමි සඟයා ඔරුවට ඉටි රෙද්දක් දමා එය අපගෙ රාත්‍රි නිවහන බවට පත් කර දුන්නා.ඔහු රාත්‍රි ආහාර පිසින අතරතුර අපි ඔරුවට වී අප ගී හඬ ගුවනට මුසුකලා.රාත්‍රි ආහාරය ගත් අපි ඔරුවේ නින්දට වැටුනේ ජීවිතයට තවත් නැවුම් අත්දැකීමක් එක් කරමින්.
පුන්සඳ පායා ඇති  රැයක වැව් ඉවුරක ඔරුවකට වී ගත කරන රාත්‍රියක් කෙතරම් චමත්කාරජනකද....
පහුවදා මම උදෑසන 5.00 පමණ ඇහැරුනේ ඉර උදාවන අයුරු බැලීමට වුවත් අවාසනාවට ඉර ගස්වලට මුවාවී තිබූ නිසා ඒ අවස්ථාව ගිලිහී ගියා.අනික් අයටත් මගේ කිවිසුම් නිසා ඇහරෙන්නට සිදුවුනා :).
අපි නැවතත් පැය දෙකක පමණ වේලාවක් වැවේ දිය කෙලිමින් ගතකලා.අනතුරුව ඔරුවේ නැඟි වැව් බැම්ම වෙත පැමිණි අපි ඒ අසල කඩයකින් දිවා ආහාරයත් ගෙන මහියංගණ සෑය වඳින්නට ගිය අපි දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව නැවත ඒමට පිටත් වුනා.
මහියංගණය යැයි කියූ පමණනින් එක්වර සිහියට නැගෙන ආදිවාසීන් වෙනුවට පාරාදීසයක චිත්‍රයක් අප සිත් තුල මැවීමට මේ ගමනට හැකි වුනා.මනෝජ්,සංජීව,සඳරුවන්,ගීතාල් හා අනුරුද්ධ(මම නෙමෙයි :) )සමඟ ගිය මේ චාරිකාව ස්වර්ණවිමානෙන් එහා ලෝකය බලන්න ගිය එකක් කියලයි මට නම් හිතෙන්නෙ..............
අපේ කට්ටිය