Wednesday, July 27, 2011

දියඇලි සොයා ගඟ දිගේ ගිය ගමන....




අපේ කට්ටිය..
කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට ආවෙ ලඟදි කිතුලගල පැත්තෙ ගඟ දිගේ ගිය ගමන ගැන ලියන්න හිතාගෙන.මේක තුන් පාරක්ම එක එක හේතු නිසා කල්ගිහින් අන්තිමට පහුගිය ඉරිදා තමයි යන්න පුලුවන් වුනේ.ට්‍රිප් එක යන දවසෙත් පටන්ගත්ත වෙලේ ඉඳන් බාධක වලින් නම් අඩුවක් තිබ්බෙ නෑ.නලින් අය්යගෙ වෑන් එකේ යන්න හිටපු ගමන බස් එකේ ගිහින් එන්න උනේ ඉරිදා වෑන් එකේ ඩ්‍රයිවර්ට හදිස්සි වැඩක් වැටුනු හින්දයි.කොහොමහරි උදේ 6 වෙනකොට කැම්පස් එකගාවට කට්ටියට එන්න කියපු මම 6.30 ට විතර කටුබැද්දට ඇවිත්   ;) 255 බස් එකකට නැග්ගෙ අනික් අයට කැම්පස් එක ගාවින් ඒ බස් එකට නගින්න කියලයි.හෙමින් හෙමින් ආපු බණ්ඩයි,දිනුතයි තමන්ව පසුකරගෙන යන බස් එක දිහා කට ඇරගෙන බලන් ඉන්නව මම කැම්පස් එක ගාවදි දැක්ක.ඒ දෙන්නට ඊලඟ බස් එකේ එන්න කියල අපි ට්‍රිප් එක පටන් ගත්ත.:D
කොට්ටාවෙදි කට්ටිය එකතු කරගෙන උදේ කෑමත් අරගෙන අවිස්සාවේල්ලට යන්න පිටත් උනා.අවිස්සාවේල්ලෙන් කිතුල්ගල බස් එකකට නැඟලා බස් එක දැන්මම යන පාටක් තිබ්බෙ නැති නිසා මමයි,බණ්ඩයි,චන්දිමයි පොඩ්ඩක් බස් නැවතුම් පොලේ ඇවිදින්න ගියා.
අපි ගිහින් විනාඩි 5ක් යන්නත් ඉස්සරින් බස් එක යන්න පිටත් වෙලා.පස්සෙ ආරංචි වුනු විදියට,  සුනාරි ඩ්‍රයිවර්ට  යාලුවො වගයක් එන්න තියෙනවා පොඩ්ඩක් ඉන්න  කියල අපිව හොයන්න බස් එකෙන් බැහැල ගිය හැටියම ඩ්‍රයිවර් හොල්මනකට බය උනා වගේ යන්න පටන් ගත්තලු.බස් එකේ හිටපු මිනිස්සු කියපු විදියට එච්චර වේගෙන් ඒ පාරෙ කවදාවත් බස් ගිහින් නෑලු.
කොහොමහරි සුනාරි අපිව හොයාගෙන, බස් එක අපි එනකම් බලන් ඉන්නව කිව්ව නිසා(එයා හිතන් ඉඳල තියෙන්නෙ එහෙමයි :P )අපි හතරදෙනා අවිස්සාවේල්ල ටවුන් එක මැද්දෙ බස් එක තියෙන පැත්තට දුවල ගියාට බස් එක පේන්න තිබුනෙ නෑ.අපි එතන තිබ්බ ත්‍රී වීල් එකකට නැග්ගෙ බස් එක අල්ලන්න හිතාගෙන.බය වෙච්ච ඩ්‍රයිවර් ඒ වෙනකොටත් ගොඩක් දුර ගිහින් කියලා බස් එකේ හිටිය අපේ අනිත් අය කිව්ව නිසා බස් එක අල්ලන අදහස අතහැරල දුරගමන් බස් එකක යන්න සිදුවුනේ දෙවෙනි පාරටත් අපේ කට්ටිය දෙකට බෙදෙන්න සලස්වලයි.
යටියන්තොටදි අපෙ බස් එක ඉස්සර වුනත් කිතුලගලට අප දෙගොල්ලන්ටම වගේ එකවිට පැමිණෙන්න පුලුවන් වුනා.දවල් කෑම කිතුල්ගලින් අරගෙන ඔරු තොටට එනවිට දවල් 12ට කිට්ටු වෙලා.

බණ්ඩට වෙච්ච දෙයක්...
ඔරු තොටට ඇවිත් කැලණි ගඟෙන් එගොඩ වෙලා ගමන පටන් ගත්තා.බණ්ඩා හබලක් අරන් කරපු විකාරය දිහා ශර්මිලා දුකෙන් බලන් ඉන්න හැටි කැමරාවට හසු වී තිබුණා.ටික දුරක් ගම මැදින් ගමන් කර මාකන්දව රක්ෂිතයට අපි ඇතුල් වුනාට  පස්සෙ කූඩැල්ලන්ට පින් සිද්දවෙන්න අපේ ගමන ඉක්මන් වුනා.මකුලු ඇල්ලට තිබුන පාරදිගේ ගිහින් කුඩා දොල පහරකට වැටුනත් දිය ඇල්ලක් පෙන්න තිබ්බෙ නැති නිසා අපි දොල පාර දිගේ උඩහට ගියා.1/2km විතර ගියත් දිය ඇල්ලක් තිබ්බෙ නැති නිසා ආපහු හිටපු තැනටම ආවෙ පහලට වත් ගිහින් බලන්න හිතාගෙන.
මකුල් ඇල්ල
මම අනික් අයට වඩා ඉක්මනට පහලට ගියේ, පහලත් දිය ඇල්ලක් තිබ්බෙ නැත්තම් ඇනුම්පද අහන්න වෙන බව දන්නා නිසයි.ටික දුරක් යනවිට වතුර වැටෙන හඬක් ඇහුනු නිසා මකුලු ඇල්ල දැකීමේ අදහසින් ඉදිරියට ගිය  මම නතර වුනේ  ඇල්ල මුදුනින්.අපේ අනික් අයටත් කතා කරල ඇල්ල පහලට බැස්සෙ දිය ඇල්ල හොඳින් බලා ගන්නයි.අපි දිය ඇල්ල යටට ගිහින් නාන්නත් අමතක කලේ නෑ.ඊට පස්සෙ සුනාරිගෙ කරාටේ පාටියත් රස විඳලා අපි ආපහු ගමන පටන් ගත්තෙ ලෙන්තිරි ඇල්ල බලන්න යන්න හිතාගෙනයි.
       ලෙන්තිරි ඇල්ල බලන්න ගිය එකනම් මකුලු ඇල්ල වගේ ලේසි උනේ නෑ.මකුලු ඇල්ලට යන පාරෙ වන සංරක්ෂණ එකෙන් බෝඩ් ගහල තිබ්බත් ලෙන්තිරි ඇල්ලට යන පාරේ තාම බෝඩ් ගහල නෑ.එකම පිහිටට තිබ්බෙ ලක්දසුන් එකෙ දාල තිබ්බ වාර්තාවක් තමයි.මුලිම හම්බුන තුන්මං හංදියෙන් හරි පැත්තට යන්න එකෙන් පුලුවන් වුනා.ඒත් ඊලඟ හංදියෙන් හැරෙන්න ඕනෙ පැත්ත වරද්දගෙන 600ම් විතර ගියාට පස්සෙ ආපහු හැරුනෙ වාර්තාවෙ තිබ්බ විදිහෙ බෑවුමක් හම්බුනේ නැති නිසයි.පාර වරද්දගන්න එක මම යන ට්‍රිප් වල සම්ප්‍රදාය නිසා මේකෙදිත් ඒක කඩකලේ නෑ.
ආපහු අන්තිම හංදිය ලඟට ඇවිත් අනික් පාරෙන් යන්න පටන් ගත්තත් හරි පාරේ යනව කියන විශ්වාසයක් නම් තිබුනෙ නෑ.මෙහෙම 1km විතර යනකොට අපිට කන්දක් නගින්න වෙලයි තිබ්බෙ.මේ වෙනකොට වෙලාව 3 පහුවෙලා තිබ්බ නිසත් දිය ඇල්ලක් ගැන කිසිම හෝඩුවාවක් තිබ්බෙ නැති නිසාත් තවත් විනාඩි 15ක් ගමන් කර ආපසු හැරී එන්න තීරණය කලා.මේ වෙනකොට නම් දිය ඇල්ල දැකීමෙ අදහස මාත් ඇතහැරල තිබ්බෙ අපි කන්දක් මුදුනට යනව වගේ තේරුණ නිසා.ආපු එකේ කන්දෙ මුදුනට වත් යන්න හිතාගෙන මම පිරිසෙන් මිදී ඉස්සර වුනා.

ලෙන්තිරි ඇල්ල
විනාඩි 15 ක විතර වේගවත් ගමනකින් පස්සෙ ආපහු බෑවුමක් දිගේ යන්න පටන් ගත්තාම වතුර වැටෙන සද්දයක් කැලේ තුලින් ඇහෙන්න ගත්තා.මේ වෙනකොට අපේ අනික් අයගෙන් මිදී මම ගොඩක් දුර ඇවිත්.යන්න කතාකරගත්ත වෙලාව හරි වුනත් දිය ඇල්ල තියෙන බවට ලැබුනු සාක්ෂිය නිසා වේගයෙන් බැවුම දිගේ ගමන් කල මට ගස් අතරින් අලංකාර ඇද හැලෙන ලෙන්තිරි ඇල්ල දකින්නට ලැබුනා.තියුණු බෑවුමකින් බැස්ස මම නැවතුනේ ඇල්ල පාමුලයි.අපේ කට්ටියගෙන් ආව හූ හඬට පෙරලා හූ හඬක් දුන්නේ මා තවමත් ජීවතුන් අතර බව කියන්නයි

ටිකින් ටික ලං වූ හූ හඬත් සමඟින් අපේ කට්ටියම අන්තිමට ලෙන්තිරි ඇල්ල පාමුලා ආවා.එන ගමනෙදි නලීන් අය්ය කිව්ව වගේ "මේක හම්බුනේ නැත්නම් අපේ ට්‍රිප් එක අසම්පූර්ණ වෙනව කියල මටත් ඒ වෙලාවෙ හිතුනා.දිය ඇල්ල පහලින් නතර වෙන්න අපි කාටවත් අදහසක් තිබ්බෙ නැති නිසා ප්‍රපාතාකර නැග්මක් ඔස්සෙ අපි ඇල්ල මුදුනට නඟින්න පටන් ගත්තා.එකිනෙකාගෙ සහයෝගයෙන් ඇල්ල මුදුනට නඟින එක හිතපු තරම් අමාරු උනේ නෑ.
ලෙන්තිරි ඇල්ල මුදුනට..
බණ්ඩා දිය ඇල්ල මුදුනෙදි කිව්වා"දිය ඇල්ල මුදුනට ලස්සනක් නෑ.දිය ඇල්ලක ලස්සන බලන්න ඕනෙ නම් පහල ඉඳන් බලන්න ඕනෙ කියල".දිය ඇල්ලක් මුදුනෙදි පේන්නෙ වතුර පහර එක වරම නොපෙනී යනව විතරයි.ජල දහරාව පෙණ නංවමින් පහලට ඇද හැලෙන විදිය තමයි දිය ඇල්ලකට ලස්සනක් ගෙන දෙන්නෙ.ඉතින් මේ කතාව ඇහැව්වාම මට හිතුනෙ සමහර දේවල් වල ලස්සන පේන්නෙ ඒක දිහා බලන විදිහට අනුව කියලයි.
අන්තිමට විනාඩි 15න් ආපහු එන්න හිතන් ගිය ගමන ඉවර උනෙ දිය ඇල්ල මුදුනෙත් තව පැය බාගයක් විතර ගතකරලයි.කැලණි ගඟේ ටියුබ් පදින්න හිතාගෙන ඉක්මනට එන්න ආවත් ඔරු තොටට එනකොට වෙලව 5.30ත් පහු වෙලා.ඒක නිසා ටියුබ් පදින අදහස අත්හැරල ටිකක් නාගෙන ආපහු එන්න ආවෙ ඉතුරු දිය ඇලි දෙකත් බලල රාෆ්ටින් යන්න ආපහු දවසක එන්නත් හිතාගෙනයි.ගමනට එක් වුනු චන්දිම,දිනුත්,හිරන්ත,සුනාරි,මදුරංග(බණ්ඩා),ශර්මිලා,කුමුදුනී වගේම අපිට දවල් කෑම අරන් දුන්න නලින් අය්යවත් විශේෂයෙන් මතක් කරන්න ඕනෙ.