Thursday, June 13, 2013

අහම්බයක්ම නොවූ ගුවන් යානා සිහිනය-II

G-22  මාධ්‍යයන් වෙතට ගියේ අප ද නොසිතූ ලෙසය.මේක මගේ කතාව නිසා අහම්බයක්ම නොවූ ගුවන් යානා සිහිනය ගැන කීමට G-22 වලට පෙර තවත් සිද්ධි කිහිපයක් සිහිපත් වේ.අහම්බයක්ම නොවූ ගුවන් යානා සිහිනය-I

කාලවකවානුව:2001
ස්ථානය:රත්මලාන ගුවන් හමුදා කඳවුර

ගුවන් හමුදාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන දැවැන්ත ප්‍රදර්ශනයකි.පළමුවරට ගුවන් යානයක් ආසන්නයට යාමට හැකි වූයේ එහිදීය.තටුවේ ඇති විශේෂ හැඩය නිසා ගුවන් යානයක් ඉහල යනබව දැනගත්තේ එදාය.කුඩා ගුවන් යානා ආකෘති දුටු විට නැවතත් යටපත්ව තිබූ ගුවන් යානා සිහිනය මතුවිණි.රෙජිෆෝම් කාඩ්බෝඩ් වලින් විවිධ ආකාරයේ ගුවන් යානා සෑදීමට දැරූ උත්සහය ව්‍යවර්ත වූ විට කඩදාසි රොකට් සාදා වහලය මත සිට  යැව්වේ කොහොම හැදුවත් ඒවා උඩ යන බැවිනි.

කාලවකවානුව:2006
ස්ථානය:රොටරි ආයතනය
ටිල්නි ද සිල්වා සර් බර්නුලි සිද්ධාන්තය පැහැදිලි කරමිනි සිටී."ගුවන් යානා පියාසර කරන්නේ බර්නුලි මූලධර්මයට අනුවයි.යානයේ තටුව මතින් ගමන් ගන්නා වාතය...." මම පාඩමෙන් මිදී සිතුවිලි අතර සිරවීමි.ගුවන් යානා සෑදීමට ගත් උත්සහයන් රූප රාමු පෙලක් මෙන් මතකයට ඇදී ආවේය.එහෙත්....නැවතත් උත්සහයක් දරා බැලීමට කාලයක් නොමැත.උසස් පෙළ විභාගය ලඟ එයි.සිහිනය තව දුරටත් සිහිනයක් ලෙසම තැබුවෙමි.

කාලවකවානුව:2011
ස්ථානය:ENTC

මේ අප සය මසක කාලයක් සඳහා කාර්මික ක්ෂේත්‍රයේ පුහුණුවට පිටත් වීමට සූදානම් වන කාලයයි.අපගේ උපාධිය විද්‍යුත් හා විදුලි සංදේශ වුවද මුල් කොටසට පමණක් කැමති මා වැනි අය හට යාමට ආයතන තිබුනේ අතේ ඇඟිලි ගණනකටත් අඩුවෙනි.මා තෙරුනු ZTE පසෙක දමා කිසිවෙකු ඉල්ලුම් නොකල ගුවන් හමුදාව තෝරාගන්නට  සිතුනේ ගුවන් යානා සිහිනය නිසා දෝ යැයි දැන් මට සිතෙයි.ඒ සය මසක කාලය තුල නියමුවන් රහිත ගුවන් යානා පිළිබඳව බොහෝ දේ දැනුමට එකතු කර ගැනීමට හැකිවිණි.


Wednesday, May 22, 2013

අහම්බයක්ම නොවූ ගුවන් යානා සිහිනය..-1



කාලවකවානුව:1997
ස්ථානය:ශාස්ත්‍රානන්ද දහම් පාසල,දෙහිවල                                                          

තරුණ බොදු සමිතියක් මඟින් දහම් පාසලෙහි දරුවන් සඳහා වැඩසටහනක් පවත්වනු ලබයි.ධර්ම ශාලාවේ දිගබංකු මත වාඩි වී සිටි විවිධ වයස් වල සිසුන් අතර මමද සිටිමි.සිසුන් වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් වේ..  
"කවුද කැමති කවද හරි ගුවන් යානයක් හදන්න?"
සියල්ලෝම නිහඬය."මම කැමතියි" එය කෙසේ මගෙ මුවින් පිටවුනේදැයි කල්පනාවට ආවේ මගේ පිළිතුරත් සමඟ සිසුන්ගෙන් නැඟුනු සිනහවත් සමඟය.එත් දැන් පරක්කු වැඩිය.
"අන්න එහෙම තමයි මල්ලි ඉන්න ඕනෙ.කවද හරි ගුවන් යානයක් හදන්න පුලුවන් වෙන්න කියල අපි සුබපතනවා.මේ පොඩි තෑග්ග ඔයාගේ ඉදිරිපත් වීම වෙනුවෙන්" ප්‍රශ්න නැඟුව අය්යගේ ඒ වචනත් සමඟ සිනාහඬ නැතිව ගියේය.පුංචි ආඩම්බරයක් හිතට දැනුනේ ගුවන් යානා ගැන ලියවුනු සඟරාව ලැබෙන විටදීය.ඉංග්‍රීසියෙන් ලියාතිබූ එහි කිසිවක් නොතේරුනත් රූප බලමින් සිටින විට ගුවන් යානා සිහිනය මටත් නොදැනීම යටි සිතට කාවදින්නට ඇත.


කාලවකවානුව:1999
ස්ථානය:පාසල,නිවස                                                                                          

පාසලේ විද්‍යා ප්‍රදර්ශනය අදයි.ස්වයංක්‍රීය වීදිපහන් පද්ධතියක ආකෘතියක් සමඟ මමත් ප්‍රදර්ශනයේ සාමාජිකයෙකු වී ඇත.ප්‍රදර්ශනය ඇතුල්වන ඕනෑම කෙනෙකුගේ අවධානයට යොමුවන ප්‍රදර්ශන භාණ්ඩයක් වෙත මගේ නිරන්තර අවදානය යොමු වේ.එය වහලයේ එල්ලා ඇති කුඩා ගුවන් යානයකි.ඉදිරිපස ඇති රූම්පෙත්ත මෝටරයකින් කැරකවෙන විට කුඩාගුවන් යානය වෘත්තාකර පථයක යමින් ක්‍රමයෙන් ඉහලට යයි.එදා නිවසට ගොස් රු.20 මෝටරයක් කාඩ්බෝඩ් වලින් සෑදූ ගුවන් යානා සැකිල්ලකට සවිකොට වහලයේ එල්ලා විදුලිය ලබා දුන්නෙමි."අම්මේ මෙන්න ප්ලේන් එක උඩ යනවෝ..".උසස් පෙළදී වෘත චලිතය පාඩම කරන විට ගුවන් යානය මතක් වී මටත් නොදැනීම සිනහවක් මතුවිය.එය පියාසර කිරීමක් නොව නිකන්ම නිකන් වෘත චලිතයක් පමණි.