Wednesday, May 22, 2013

අහම්බයක්ම නොවූ ගුවන් යානා සිහිනය..-1



කාලවකවානුව:1997
ස්ථානය:ශාස්ත්‍රානන්ද දහම් පාසල,දෙහිවල                                                          

තරුණ බොදු සමිතියක් මඟින් දහම් පාසලෙහි දරුවන් සඳහා වැඩසටහනක් පවත්වනු ලබයි.ධර්ම ශාලාවේ දිගබංකු මත වාඩි වී සිටි විවිධ වයස් වල සිසුන් අතර මමද සිටිමි.සිසුන් වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් වේ..  
"කවුද කැමති කවද හරි ගුවන් යානයක් හදන්න?"
සියල්ලෝම නිහඬය."මම කැමතියි" එය කෙසේ මගෙ මුවින් පිටවුනේදැයි කල්පනාවට ආවේ මගේ පිළිතුරත් සමඟ සිසුන්ගෙන් නැඟුනු සිනහවත් සමඟය.එත් දැන් පරක්කු වැඩිය.
"අන්න එහෙම තමයි මල්ලි ඉන්න ඕනෙ.කවද හරි ගුවන් යානයක් හදන්න පුලුවන් වෙන්න කියල අපි සුබපතනවා.මේ පොඩි තෑග්ග ඔයාගේ ඉදිරිපත් වීම වෙනුවෙන්" ප්‍රශ්න නැඟුව අය්යගේ ඒ වචනත් සමඟ සිනාහඬ නැතිව ගියේය.පුංචි ආඩම්බරයක් හිතට දැනුනේ ගුවන් යානා ගැන ලියවුනු සඟරාව ලැබෙන විටදීය.ඉංග්‍රීසියෙන් ලියාතිබූ එහි කිසිවක් නොතේරුනත් රූප බලමින් සිටින විට ගුවන් යානා සිහිනය මටත් නොදැනීම යටි සිතට කාවදින්නට ඇත.


කාලවකවානුව:1999
ස්ථානය:පාසල,නිවස                                                                                          

පාසලේ විද්‍යා ප්‍රදර්ශනය අදයි.ස්වයංක්‍රීය වීදිපහන් පද්ධතියක ආකෘතියක් සමඟ මමත් ප්‍රදර්ශනයේ සාමාජිකයෙකු වී ඇත.ප්‍රදර්ශනය ඇතුල්වන ඕනෑම කෙනෙකුගේ අවධානයට යොමුවන ප්‍රදර්ශන භාණ්ඩයක් වෙත මගේ නිරන්තර අවදානය යොමු වේ.එය වහලයේ එල්ලා ඇති කුඩා ගුවන් යානයකි.ඉදිරිපස ඇති රූම්පෙත්ත මෝටරයකින් කැරකවෙන විට කුඩාගුවන් යානය වෘත්තාකර පථයක යමින් ක්‍රමයෙන් ඉහලට යයි.එදා නිවසට ගොස් රු.20 මෝටරයක් කාඩ්බෝඩ් වලින් සෑදූ ගුවන් යානා සැකිල්ලකට සවිකොට වහලයේ එල්ලා විදුලිය ලබා දුන්නෙමි."අම්මේ මෙන්න ප්ලේන් එක උඩ යනවෝ..".උසස් පෙළදී වෘත චලිතය පාඩම කරන විට ගුවන් යානය මතක් වී මටත් නොදැනීම සිනහවක් මතුවිය.එය පියාසර කිරීමක් නොව නිකන්ම නිකන් වෘත චලිතයක් පමණි.