Tuesday, April 26, 2011

නොමියෙන ආදරය...

.
       සයිබර් අවකාශයේ ඉබාගාතේ ඇවිදින අතරෙ මම ගොඩක් ආස සිංදුවක් අහම්බෙන් වගේ හම්බුනා.සනත් නන්දසිරි මහතා කියන සින්දු වලින් දුක්බරම සින්දුව මේක වෙන්න ඇති.මම මේක මුලින් අහපු වෙලාවෙ ඇස් වලට කඳුලු ආවා.මම අහල තියෙන විදියට මේක ඇත්ත සිදුවීමක් ඇසුරෙන් ලියවුනු එකක්ලු.තමන්ගෙ පෙම්වතිය සියදිවි නසා ගත්ත වේදනාවට මේ සින්දුව ලියපු කෙනා ලිව්ව එකම සින්දුවත් මේක විතරලු.දැන් තියෙන අත පය වලට විතරක් දැනෙන සින්දු වෙනුවට මේ වගේ හදවතට දැනෙන සින්දුත් කියවෙන්න ඕනෙ කියලයි මට නම් හිතෙන්නෙ.

එදා මෙදා තුර කඳුලට විවර වු දෑස් පියන් පත් කවුලු වසා
ලයේ ගලා ගිය සෙනෙහයෙ සුව සිනා පිරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැඳ අවසන් ගමන්ට සොඳුරිය මට නොකියාම ගියා …

දෑස් කවුලු පත් පලා කඳුලු කැට වෑහෙද්දි මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්  ඔබෙ මුව දොවතත් සුව්ඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්

එදා මෙදා තුර කඳුලට විවර වු දෑස් පියන් පත් කවුලු වසා....

ඊයේ ඉපදි අද මිය යන්නට  පෙරුම් පුරා ගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
   
එදා මෙදා තුර කඳුලට විවර වු දෑස් පියන් පත් කවුලු වසා....



Sunday, April 17, 2011

සිරිපා කරුණාව..

ජුරාසික් පාර්ක්
මා එක් වරම අවදි වූයෙමි.ඇසෙන්නෙ මැඩියන්ගේ හා රැහැය්යියන්ගේ හඬ පමණි.කිසිවක් නොපෙන්නේ පැතිරි ඇති ඝන අඳුර නිසාවෙනි.නිදාසිටි ගල්තලාවේ රළු බව දැනෙන්නට වූ කල මම පියවි සිහියට පත්වුනෙමි.උදයේ බස් රථයට නැඟුනු වෙලේ සිට මෙතනට පැමිණි හැටි දක්වා සියල්ල ක්‍රමයෙන් සිහිවන්නට විය.

         කොළඹින් පිටත්වුනු අපි රත්නපුර නගරයෙන් බැසගත්තේ මිතුරෙකුගේ හිත බසයේ නතරකර දමාය.අපි කීවේ දසුන්,චන්දන,හොමෙශ්,ප්‍රබෝද,ලසිත,මලිත්,කසුන් හා මමය.  හිත දමා ආ සඟයා තවත් අකරතැබ්බයකට මුහුණපෑවේ අප උදෑසන ආහාරය ගන්නා අතර දොරක් නැති වැසිකිලියකට යාමෙනි.8.30 යේ දෙහෙනකන්ද බසය කැඩී තිබුනද  කෙසේ හෝ අවසානයේ  අපගේ ගමන පටන්ගන්නා තැනට පැමිණියෙමු.

වනය මැදින්...
      ලසිත ගෙනා අග්ගලා රස බලමින් අපි හෙලේ නඟින්නට පටන් ගත්තේ බාධක රැසක් සමඟිනි.මහත් බරකින් යුතු අපගේ ගමන් මළුද,නොනවත්වා පහර දෙන කූඩැල්ලන්ද,විටින් විට ඇදහැලෙන් වැස්සද ගෙන දුන්නේ ඉමහත් පීඩාවකි.එහෙත් නොඉඳුල් වනයේ සිසිලස මැදින් අන්තය තෙක් විහිදුනු කඳුවැටි දකිමින් සියොතුන්ගෙ ගී හඬ අසමින් අපි නොනවත්වා ගමනෙහි යෙදුනෙමු.පෙඳ පාසි වලින් වැසී ගිය තුරු මුල් දකින කල නිතැතින්ම ජුරාසික් පාර්ක් සිහියට නැඟෙයි.වෙහෙස දැනුනද නවතින්නට නොහැකි වුයේ කූඩැලි ප්‍රහාරය එවිට තවත් දැඩි  වන බැවිනි.ඒ වන විටද අප බොහෝ දෙනෙකුගෙ කකුල් වලින් ලේ ගලමින් තිබුනේ කුඩැල්ලන්ට පින් සිදු වන්නටය.
     කඩින් කඩ හමුවන කුඩා දිය පහරවල් අපගෙ පිපාසය සන්සිඳු වීමට බොහෝ සේ උදව් විය.මෙසේ තරමක් විශාල දිය පහරකට චන්දනගේ බෑගය පෙරලුනේ ඇඳුම්,කෑම පමණක් නොව දුරකතනයද තෙමා දමමිනි.පැය පහක පමණ දීර්ග ගමනකින් පසු අපට රාත්‍රිය ගතකල හැකි තැනකට ලඟා වීමට හැකිවිය.

අපේ නිවහන..
    දියපහරක් අසල ඇති ගල්තලාවක යුහුසුළුව කුඩාරම ඉදිකිරීමට පටන් ගත්තේ ඒ වන විටත් අඳුරු වැටෙමින් තිබුනු බැවිනි.ඒ අතරම ගිනිමැලයක් දැල්වීමට ගත් උත්සාහය අසාර්ථක වූයේ වියළි දර කැබලි සොයාගැනීමට නොහැකි වූ නිසාවෙනි.එහෙයින් ගිනිමලයේ අදහස අත්හැරි අපි කූඩරම ගසා රෑ කෑම පිළියෙල කිරීමට පටන් ගත්තෙමු.එවැනි අපූරු කෑම වේලක්!!! බත් කියා සෑදුවද අවසානයේ එය කිරිබත් වී තිබුණි.අල හොද්දේ තැම්බුනු අල සොයාගැනීමට නැතිය.සීනි හැර ඇති අනෙක් හැමදෙයක්ම දමා සීනි සම්බෝලයක්ද තිබුණි.තිබූ කුසගින්නට එවා එකක් වත් ප්‍රශ්න නොවුනි.
කුඩාරම තුලට වැදුනු අපි නින්දට වැටුනෙමු.මිනිස් වාසයෙන් ඈත ඝන කැලෑවක් මැද ගෙවෙන රැයක්......


අසලින් ඇද හැලුනු කුඩා දිය ඇල්ල
            ළා හිරු කිරණ කූඩාරම තුලට වැටෙන විට අප අවදි වුනෙමු.අප ලැගුම් ගත් තැන අවට අසිරිය හොඳ හැටි විඳීමට ලැබුනේ දැන්ය.අප සිටිය තැන අසලින් ගලා ගිය දිය පහර නුදුරින් කුඩා දිය ඇල්ලක් සාදමින් ගලා හැලෙයි.දියපහර දිගේ ටික දුරක් ගමන් කල අපිට වියළි දර සොයා ගැනීමටද හැකි විණි.එමඟින් අපගේ භුමිතෙල් ලිපට අමතරව තවත් දර ලිප් සාදාගත්තෙමු.උදෑසන හා දවල් ආහාරය වඩා හොඳින් සාදා ගැනීමට මෙවර හැකි විණි.ඒ අතරතුර අප ඒ අසල සෑදී තිබුණු පොකුණට බැස සිත් සේ නා ගතිමු.අනතුරුව උදෑසන ආහාරය ගත් අපි ගෙන ආ සියලුම දේ නැවත අසුරා ගත්තේ ඒ සුන්දර පරිසරය ඉදිරියටත් එලෙසම පවතිය යුතු නිසාවෙනි.මේ අතර තුර ඒ අසල තිබූ කුඩා දිය පහරක් ඔස්සේ කැලය තුලට ගිය මට හා කසුන්ට තුරු වදුලෙන් වැසී තිබුණු තවත් කුඩා දිය ඇල්ලක් දැකගත හැකිවිය.
මමත් කසුනුත් ඉහළට ගිය දිය පහර

       උදෑසන 11.30 ට පමණ නැවත ගමන ඇරඹු අපි ඉතා බැවුම්ව තිබූ කන්ද තරණය කලෙමු.පැයක පමණ වෙහසකර ගමනකින් අනතුරව ගමනේ පළමු වරට අපි සමනළ කන්ද දුටු විට අප මුවඟට සාදුකාරයක් ආවේ නිතැතිනි.එතැන් සිට උඩමළුවට තව බොහෝ දුරක් ඇති බව පෙනුනද අපගේ ගමනාන්තය දුටු නිසදෝ අප වැඩි උද්යෝගයකින් කන්ද තරණය කිරීමට පටන් ගත්තෙමු.අපගේ වාසනාවට කූඩැල්ලන්ගේ හිරිහැර අඩුවූ නමුත් මහ වැස්ස අපට බාදා කරන්නට විය.එහෙත් වැස්ස නොතකා ගමනේ යෙදුන අපි තවත් පැය දෙකක පමණ ගමනකින් පසු රත්නපුර සිරිපා මාර්ගයට අවතීර්ණ වුනෙමු.රත්නපුර මාර්ගයේ සිට බලන්නෙකුට අප ආ මඟ වත් සොයා ගත නොහැකි ලෙස වනයෙන් වැසී තිබුණි.ඇහැළ කණුව,මහගිරිදඹ්ය පසු කල අපි දීර්ඝ ගමනකින් පසු අපගේ ගමනාන්තය වූ උඩ මළුවට පැමිණියෙමු.පඬුරු පූජා කලපසු කෝඩුකාරයා වූ මා හැර අන් සියලු දෙනා තමන් පැමිණි වාර ගණනට ඝණ්ඨාව නාද කලහ.දවල් ආහාර ගත් අපි හැටන් පාරෙන් නැවත බසින්නට වූයෙමු.
උදෑසන ආහාරය සැකසෙමින්...
           අප බසින අතර දක්නට ලැබුන සංවේදී දසුනක් වූයේ අන්ධ පුද්ගලයන් රැසකගේ සිරිපා වන්දනාවයි.එමෙන්ම යන මඟ කඩයක දමා තිබූ "සඳ වට රන් තරු" ගීය මගේ මතකයට තදින්ම කාවැදුනි.අප ආ දෙහෙනකන්ද පාරත් හැටන් පාරත් අතර වෙනස අහසට පොලොව මෙන්ය.දැඩිලෙස වාණිජකරණය වි ඇති හැටන් පාරෙන්, දෙහෙනකන්ද පාරෙන් යනවිට දැනුනු සිසිලස සුවය එතරම් නොදැනුනි.කෙසේ හෝ පැය තුනක පමණ ගමනකින් පසු අප නල්ලතන්නියට බැස ගතිමු.එතැනින් හැටන් දුම්රියපලට ගිය අපි රාත්‍රී තැපැල් දුම්රියෙන් නැවත පැමිණුනෙමු.
සරසවි දිවීයේ සුන්දර මතකයන් ගොන්නට එකතු නැවුම්ම මතකය වූ මෙම ගමනේ නඩේ ගුරා වූ දසුන්ව විශේෂයෙන් මතක් කල යුතුය.සිතියම බලාගෙන කෙසේ හෝ වැරදි පාර ඔස්සේ යාමේ මනා හැකියාවක් ඇති මොහු ගමන සංවිධානය කර තිබූ අයුරු පැසසුම් කටයුතුය.එසේම ගමනේ වියපැහැදම් මනාව කලමණාකරනය කල ලසිතත් ,කූඩැල්ලන්ට මහා ලේ දන්දීමක් සංවිධානය කල මලිත්,ගමන පටන් ගත් වෙලේ සිට ආපසු පැමිණ යන නුවර එළි ගමන ගැන සිහින මැවූ හොමෙශ්(අවසානයේ මොහුව අතහැර නුවර එළි ගමන ගිය බව සැලවිණ ), මුලසිටම ඇබැද්දි වලට මුහුණ පෑ ප්‍රබෝද ,හැම දෙයක්ම සරලව ගෙන අන්තිමට බෑගයත් වතුරට දමා ගත් චන්දන සමඟම ගෙම්බන් පිළිඹඳ හසල දැනුමක් ඇති කසුන් අමතක නොකර බැරිය.මේ හත්දෙනා සමඟ යෙදුනු සිරිපා චාරිකවේ මතකයන් මෙතැනින් නිමය.
අපේ කට්ටිය..

Thursday, April 14, 2011

අම්මා..

"සඳවට රන් තරු.. කැකුළු පිපේවා..
හිරුට වලාකුළු.. සළු පැළඳේවා..
පොලවෙහි මිණිමුතු.. කැට බිහිවේවා..
පුතෙකුට අම්මගෙ.. අගය දැනේවා.."

අපි පහුගිය දවසක සිරිපා කරුණා ක‍රන්න ගියානේ.ඉතින් සිරිපා කරුණාක‍රල ආපහු හැටන් වලින් බහින කොට ඇහුනු කවියක කොටසක් තමයි ඔය තියෙන්නෙ.කවියක් කිව්වට මේක කවියක්ම නෙමේ.සී.ටී ප්‍රනාන්දු මහත්මයගෙ සින්දුවක කොටසක්.එත් මේක හැරමිටිපාන හරියෙ කඩේක දාලා තිබුණෙ ගෑණු ළමයෙක් ලස්සන හඬකින් කියන කවියක් විදියට.ඒක එදා තදින්ම හිතට වැදුනා.ගෙදර ඇවිත් එහි මුල් ගීතය පස් හය පාරක්ම ඇහැව්ව.ඒ සිංදුවෙ ලොකු තේරුමක් තියෙනවා දැන් තියෙන ඒවත් එක්ක බලනකොට.මව් සෙහෙහස ගැන කියවෙන මේ සිංදුවෙන් අපිට ගන්න ගොඩක් දේවල් තියෙනව කියල හිතුනා.
අපි අද මේ තැන ඉන්නෙ අපෙ දෙමව්පියො කරපු කැපකිරීම් නිසා.එත් ඒගොල්ලො එහෙම කරන්නෙ අපෙන් ආපහු දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.එත් අපිට යුතුකමක් තියෙනවා ඒ අයට අවසාන කාලෙදිවත් සැනසීම ලබාදෙන්න.අපි හැමෝගෙම අතින් අම්මගෙ,තාත්තගෙ හිත් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි රිදවෙලා ඇති.ඒ අය කියන හැමදේටම අපිට එකඟ වෙන්න බැරි වෙන්න පුලුවන්.ඒ අය අපි තරම් ඉගෙනගෙන නැති වෙන්න පුලුවන්.ඒ මොනව උනත් අද අපි මේ ලෝකෙ ඉන්නෙ ඒ අය නිසා කියන එක කවදාවත් අමතක කරන්න හොඳ නෑ කියලයි මටනම් හිතෙන්නෙ.

"වහලක් නැති කල ගෙයක් කොයින්දෝ..
අම්මෙක් නැතිකල දැයක් කොයින්දෝ.."

සිංදුව අහල නැති අයට...


අලුත් වැඩක්..

අලුත් අවුරුද්දෙ අලුත් වැඩක් පටන් ගන්න හිතුවා.යාලුවො බ්ලොග් ලියනවා දැක්කාම මටත් එකක් ලියන්න හිතුනා.අපි හැමෝගෙම ජීවිත හරියට නවකතාවක් වගේ.හැමෝගෙම ජීවිතයෙ එක එක විදියේ පරිච්ඡේද තියෙනවා.දුක,සතුට,වේදනාව,ආදරය,විරහව,ජයග්‍රහණ,පරාජය මේ හැම දේම අපේ ජිවිතවල යම් යම් ප්‍රමාණ වලින් තියෙනවා.ඉතින් මටත් හිතුනා මගේ මතකයන් සයිබර් අවකාශයේ දිගහරින්න.මට එච්චර හොඳට ලියන්න බැරිවුණත් මූණුපොතේ කාලෙ කනවට වඩා බ්ලොග් එකක් ලියන එක හොඳයි කියල හිතුනා.ඉස්සරහට ලිපි ලියන්න බලපොරොත්තු වෙනවා.ඔයාලගෙ ප්‍රතිචාර ඒකට ගොඩක් උදව් වෙයි.