Saturday, December 31, 2011

සිහින රාත්‍රිය-E NITE 2011

අප නොයෙකුත් සිහින දකින්නෙමු. නමුත් ඉන් බොහොමයක් අයිති වන්නේ තමත්මන්ගේ සිහින ලෝක වලටයි.ඒත්සිය දෙනෙක් එකම සිහිනයක් දකිනා විට.. සිහිනය සැබෑවක් කරගැනීමට වෙහෙස වන විට සිහින දෙව්දුවට එය සිහිනය සැබෑවක් බවට පත් නොකර සිටීමට නොහැකි වී ඇති සෙයකි.E-NITE 2011 යනු සියදෙනෙක් ගේ සිහින ලෝකවල සම්ප්‍රයුක්තයයි.
මේ සිහිනය පිළිසිඳ ගන්නේ  ගියවර E-NITE තුලිනි.අය්යලා අක්කලා අපිට ලබාදුන් අභියෝගය ජය ගැනීමට අදිටන් කරගත් අපි වසරක් ඇවෑමෙන් කෙලෙසකින්වත් මල් යහනා මතින් ගොඩනැඟුනක් නොවුනු ,කටු අකුල් බාධක මැදින් නිමැවුනු එකක් වූ එය ජය ගැනීමේ සතුට භුක්තිවිඳිමින් සිටිමු.
ENTC අපි සාපේක්ෂව වෙනස් නිසා අපි සම්ප්‍රදායක් ලෙස E-NITE එක පවත්වන්නේ සරසවි බිමේදීමය.අනික් NITE වල මෙන් උත්සව ශාලාවක අමුත්තන් වනවාට වඩා අපේ තැන අපේම සිහින ලෝකයක් ඉදිකර ගන්නේ අපි සිහින දැකිය යුත්තේ අපේ ලෝකවල මිස අනුන්ගේ ලෝකවල නොවන හෙයිනි. 
        ෂර්ලොක් හෝම්ස් මෙවර තේමාව කරගත් අපි Old-Gym එක ෂර්ලොක් හෝම්ස්ගේ කාමරය බවට පත්කලේ අධ්‍යාපන මෙන්ම කලාවටද එකසේ දක්ෂබව පෙන්නුම් කරමිනි.ගීතයෙන් නැටුමෙන් සංගීතයෙන් හැඩ වූ සිහින රාත්‍රිය ගැන මම නොකියන්නේ එය වචනයට පෙරලිය නොහැකි ඇසින් බලා කනින් ඇසිය යුතු දෙයක් නිසාවෙනි.හිට්ලර් පවා E-NITE නොබලන මේ දෑස කුමකටදැයි පසුතැවුනේ එහෙයිනි.
BatchVideo එක, ආදර ගීතය, දෙකටම වඩා එවා රූගත කිරීමේ සිදුවූ අපමණ රසවත් සිදුවීම්, කෙසේ අමතක කරන්නද..
මේ සිහිනය සිහිනයක් පමණක් නොවී සැබෑවක් කරන්නට උරදුන් හැමදෙනාම මෙහි සඳහන් කරන්නට නොහැකි වුනත් කෙලෙසකින් වත් අමතක කල නොහැකි නම් ටිකක් මෙහි පලකරන්නේ ඔවුන් නොමැතිව මේ සිහිනය කෙදිනකවත් සැබවක් බවට පත්කල නොහැකි වන හෙයිනි.
මේ සිහිනය මීට වසරකටත් පෙර සිටම දකින්නට වූ Level 3 Batch Repලා වූ චන්දිම,හසිත්,ලක්මාල්,සංදීප හා සුනාරි E-NITE එක වෙනුවෙන් මුදල් රැස්කර මූලික අත්තිවාරම දැමූහ.මසක අධික කාලයක් පුරා කැපවීමෙන් පුහුණුවී අපව ගීතයෙන් සංගීතයෙන් පිනවූ හොමේශ්,රයන්,සාරංග,තුෂාර,ප්‍රබෝධ,,පුබුදු,චූලක,පැතුම්,අශේන්,ශානිකා මෙන්ම කණ්ඩායක් ගී ගැයූ සියළු දෙනාද නර්ථනයේ අපව ප්‍රබෝධමත් කිරීමට කකුල්වල  දියපට්ටා එනතුරු වෙහෙස වූ චන්දිම,දමිත්,ජනිත්,සුනාරි,කුමුදුනී මෙන්ම හසිනි අපේ තේමාවේ ෂර්ලොක් හෝම්ස්ට පණපෙවූ අශෝක්,වොට්සන් වූ හසිත්,ලෙස්ට්‍රේඩ් වූ විජය මෙන්ම රවිඳු ගේ හැකියාවන් සැමදා මතකයන් තුල ජීවත් වනු ඇත.
ආදර ගීතයට රංගනයෙන් දායක වූ ජනිත්,ශානිකා,ගනුශ්ක මෙන්ම ලක්මාල්   එතරම් අවධානයක් ලක්නොවී තිබූ ගීයක් ජනප්‍රිය කිරීමට සමත් වී තිබේ.සමරු පොත නිර්මාණයට දායක වූ චාමික,සුනෙත් හා හසිත් පරිගණක නිර්මාණ වලින් දායක වූ රජිත්ගේ සේවයද මතකයට නැඟේ.
යටිතල පහසුකම් සැපයීමට වෙහෙස වූ ආබිද් ගීතවල තිර රචනයට දායක වූ ලක්ශිත,දිනුත් ඇතුලු සියලු දෙනාද අවසන් සතියේ දිවා රෑ නොබලා Videos සංස්කරණය කල දිනුත් ගේ කැපවීමද තේමාවේ තිර පිටපත රචනා කල සංදීපගේ මෙහෙයද නිරෝශන්ගේ හා භාතියගේ අදහස් හා මඟ පෙන්වීම යටතේ Old-Gym එක ෂර්ලොක් හෝම්ස්ගේ කාමරය බවට පත්කල සියළු දෙනා සිහියට නැඟේ.ගනුවා හපනා යන කියමන සනාථ කරමින් Promo Video එක හැදූ ගනුශ්කද මඩ ව්‍යාපාරය ශක්තිය සැපයු අසන්ත මිගාර ඇතුලු හැමදෙනා උත්සහයද අගය කල යුතුය. 
නේවාසිකාගාරයේ කාමරයකට එකතු වී අඩුපාඩු ගැන සොයමින් ,වියයුතු දේ ගැන සාකච්ඡා කරමින් E-NITE සිහින්ය පිළිසිඳ ගත් දින සිටම මේ සඳහා කැපවුනු චන්දිම,සංදීප,දිනුත්,ලක්මාල්,ගනුෂ්ක ඇතුලු හැමදෙනාමද  සිහිනය සැබෑවක් කිරීමට වෙහෙස වූ Level 4 Batch Repලා වන රංග,විදුනෙත්,කසුන් හා නේතාංජලී මේ සිහින මන්දිරයේ අත්තිවාරම බවට පත්විණි.  මෙතන සඳහන් කරන්න නොවුනු E-NITE එක සාර්ථක කරගන්න වෙහෙස වුනු කැපවුනු තව විශාල පිරිසක් සිටිනමුත් ලිපියේ දිග වැඩිවන නිසා නම සඳහන් කිරීමට නොහැකි වීම ගැන සමාව අයදිමින් සංදීප ENTC '08 ගැන සමරු පොතේ පලකල ලිපියේ කොටසකින්ම ලිපියට නැවතීමේ තිත තබමි.

"කවදාක හෝ මේ සියළු මතකයන් අතීතයට භාරකරල සමුඅරගෙන යන්න සිදුවුනත් මේ මතකයන් නිසාවෙන් නෙත් කෙවෙනි තෙත්වෙන එක නවත්වන්න නම් කිසිවෙකුටත් පූලුවන් වෙන එකක නෑ..
මගේ සහෘදයෙක් වුනු බදුල්ලෙන් ආපු ආබිද් ENTC 08 FB group එකට මෙහෙම කවියක් ලිව්වා.මගේ මුලු කතාවම ඒ කවියෙ තියෙනව කියල වෙලාවකට මට හිතෙනවා.
මුල් වසරේ ඒ,බී,සී කුමක්වුවත්..
ට්‍රේනිං ගියේ මොන කොම්පැනියකට වුවත්..
ආවේ ගමින් සිදාදියේ දුරින් වුවත්..
ට්‍රොනික් අට නම් එක පවුලකි කුමක් වුවත්..
"

Saturday, November 26, 2011

බෝපතක සිසිල..ලේවායක සුවඳ..කැලෑවක අසිරිය..පොල්හේනක මිහිර...ආගන්තුක නොවූ සත්කාරයන් මැද මිතුදමක මහිමය

පලටුපාන ලේවායට ඉහලින් මෝදුවන ඒ සඳ,පුන්සඳක් වීමට තිබුණේ තවත් එක් දිනකි.හොමේශ්ගේ ගිටාර් හඬට මුසුවූ දිනුත්ගේ බොංගො නාදය ඒ සඳකැන් වලින් නැහැවුනු රැයේ නිහඬ බව බිඳ දැම්මේ අප සඟයන්ගේ ගී හඬට මුසු වෙමිනි.ඒ රැයේදී සල්මල් වැල් අතරින් ලස්සන ලෝකයේ ආදරය සොයා යාමට සිතාගෙන නොව මැවිසුරන්ගේ චාරිකා වල සිව්වන පරිච්ඡේදය සටහන් කිරීම සඳහා එදින අළුයමින් කටුබැද්ද සරසවියේ අපි පිටත් වීමු.
අසෝක් මූණුපොතේ දමා තිබු ඉංග්‍රීසි භාෂාවේ අලුත්ම වචනය වන 'TRIPPING' වල තේරුම සොයන්නට යාමෙන් පමා වු අසන්තව කැස්බෑවෙන් බසයට  නංවාගත් අපේ ඊලඟ නැවතුම වුනේ අමිතිරිගල, නලීන් අය්යාගේ වැඩබිමයි.අසන්තගේ අවසන් වසර ව්‍යාපෘතිය ගැන මෙහි සඳහන් නොකල හොත් අඩුවක් ලෙස සිතෙයි.

මිතුරන්: අසන්ත,මොකෝ මචං F‍YP එකට වෙන්නෙ
අසන්ත: එකෙ අපි හතර දෙනා වෙන වෙනම ප්‍රොජෙක්ට් හතරක් කරනවනෙ,තව ලොකු එකක් වෙනම යනව
සුනෙත්:මොකද්ද ප්‍රොජෙක්ට් එක,වෙසක් කූඩුවක් ද?  පැටව් හතරයි ලොකු කූඩුවයි නේ..

මේ කතා වලින් නැඟුන සිනා හඬින් අමිතිරිගල ගම්මානයේ නිහඬ බව බිඳ වැටිනි.නලීන් අය්යාගේ .
 සත්කාර වලින් පසු අපේ ඊලඟ නැවතුම වුනේ බෝ පත් ඇල්ලයි.ඇසට සොඳුරු දසුන් මවාපෑමුත් අප තිදෙනෙකුගේ කැමරා බිලිගත්තේ ඒ සොඳුරු බවට යටින් ඇති බිහිසුණු බව සිහිකරවමිනි.හෝරාතුනක් පමණ මට පිංදෙමින්  පැල්මඩුල්ල නගරයට වී අප එනතෙක් බලා සිටි ආබිද්ව පළමුවර බසයට නංවා ගෙන අපේ ගමනාන්තයට කෙමෙන් කෙමෙන් ලඟා වීමු
තිස්ස වැවේ සිසිල් දියේ ගිලෙමින් ගමනේ විඩා නිවාගෙන පලටුපාන ලේවායේ සංචාරක බංගලාවට පැමිණිමෙන් අනතුරුව වූ සිදුවීමකිනි ලිපියට මුලපිරුවේ.ඒ පැදුරු සාජ්ජෙන් අනතුරුව අසන්තගේ රසකතා,විකියාගේ ඒ කාලේ කතන්දර වගෙම සුනෙත් කලබලෙන් කියූ කතා අසමින් නොනිඳා රැය පහන් කල අය අතරට මමද එක් වීමි.මැදියම් රෑ බංගලාව අසලින් යන අලියා දකින්නට සිටිමුත් ඌ එන හැඩක් නොතිබූ නිසා වැලිකන්දෙන් එහා තිබූ පලටුපාන වෙරළ දැකීමට ගිය මට සිහි වුනේ අප පානම වෙරළේ ගෙවූ මෙවැනිම සඳ ඇති රාත්‍රියයි.  

පසුදා උදෑසන සෆාරි ජීප් පහක නැඟී එක පෙලට යාල වනෝද්‍යානය තුල සැරිසැරූ අපට පොරොන්දු ඉටුකරමින් දිවියා තම පෙම්වතියද සමඟ පැමිණ සිටිනු දැකගත හැකි විය.
ආපසු එන අතර බසයෙන් හොරෙන්ම බැසගොස් තිබුනු ආබිද් ගැන මතක් වුනේ ගමන අරඹා ටික දුරක් යනවිට ඔහුගෙන් ලැබුනු ඇමතුම නිසාවෙනි. බසය ආපසු හරවාගෙන ගොස් දෙවන වතාවටද ආබිද්ව චාරිකාව සඳහා එකතු කරගැනුනි.බසයේ ඉබි ගමන හුම්මානයට යන්නට තිබූ මඟ ඇහිරුවද පොල්හේන වෙරළේ  හුලං ගැසූ ටියුබයට පොරකමින්ද පිරමිඩ් තනා 'මෝරා' පාරක් දමමින්ද වෙරළේ පැය දෙකක් පමණ සිත් සේ විනෝද වෙමින් ගතකල කාලය නිසා ඒ අඩුව නොදැනුනි.මාතරින් විදුනෙත්ගෙන්ද ගාල්ලෙන් සංදීපගෙන්ද ආගන්තුක නොවූ සත්කාර ලබමින් අසන්තගේ හා රංගගේ බොංගෝවෙන් වැයුනු රබන් පද අසමින් අපි සරසවියට පැමිණුනෙමු.


මේ ගමනට උරදුන් විදුනෙත්,රංග,නේතාංජලී,කසුන්,නලීන් අය්යා,සංදීප,චන්දිම,ආබිද්,චානක,දිනුත්,සුනාරි හා නම්සඳහන් කරන්න බැරිවුනු හැමදෙනාටම ස්තූතිවන්ත වෙමින් පස්වෙනි පරිච්ඡේදයත් ලඟදිම සටහන් කිරීමේ බලාපොරොත්තුවෙන් නවතින්නෙමි.

Saturday, September 24, 2011

මගේ සරසවි දිවිය I

අපිට නොදැනීම කැම්පස් ජීවිතේ අවුරුදු තුනකුත් ගෙවිලා ගිහින්.කැම්පස් එකේ තිබ්බ නිදහස හොඳින්ම දැනුනෙ training ගියාට පස්සෙයි. ඒ සුන්දර කාලෙ ඉවර වෙන්න තව අවුරුද්දයි තියෙන්නෙ :( . ඒක නිසා මගේ කැම්පස් ජීවිතේ ගැන ලියන්න හිතුවෙ කාලෙකින් බ්ලොග් එකට ලියන්නත් බැරිවුනු නිසයි.
මට මුලින්ම කැම්පස් යන්න ඕනෙ කියල හිතුනෙ අපේ O/L ගණන් tution සර් කැම්පස් එක ගැන කියපු කතා ඇහැව්වට පස්සෙයි.ඉස්කෝලෙ කාලෙ expose ප්‍රදර්ශනය බලන්න ඇවිල්ල රොබෝල එහෙම දැක්කාම මටත් කවද හරි වගේ ඒව හදන්න පුලුවන් නම් කියල හිතුනා.
කොහොමහරි A/L ගොඩ දාල මොරටුවට එන්න මටත් පුලුවන් වුනා.කැම්පස් එකට මුලින්ම ආව දවස මට තාම මතකයි.රැග් නෑ කියල දැනගෙන ආවත් මොනව වෙයිද කියල චකිතයක් හිතේ තිබුනා.එත් ආවට පස්සෙ තේරුනා මොරටුව කියන්නෙ මිනිස්සු ඉන්න තැනක් මිසක් අසහනකාරයො ඉන්න තැනක් නෙමෙයි කියල.නෙලුම් මලක් බුදුන් වහන්සේට පූජා කරල පටන් ගත්ත ගමන මේ වනතෙක් වැරදිලා නෑ.

C2 Sevens

මාව C2 ගෲප් එකට වැටුනට පස්සෙ මුල්ම අමතක නොවෙන සිදුවීම තම පළවෙනි බැච් ට්‍රිප් එක.ලංකාවෙ කැම්පස් ගිහින් තියෙන හැමකෙනෙක්ම වගේ ගිහින් තියෙන තැනක් වෙන හන්තානට තමයි ට්‍රිප් එක ගියෙ.මනෝජ්,හිරන්ත,සඳරුවන්,ආසිරි,අයේෂ්,ප්‍රමොද් කියන කැම්පස් එකෙ මුලින්ම හම්බුන හොඳම යාලුවො ටික හමුවුනේ C2 එකෙන්.ඊට පස්සෙ අපි කට්ටිය ගොඩක් ට්‍රිප් ගියා.සැරිසර වගෙ වැඩසටහන් වගේම සංචාරක පොත් නිසා පොඩි කාලෙ ඉඳන්ම ඇවිදින්න කැමැත්ත තිබ්බත් කැම්පස් එනකන් ඒකට ගෙදරින් නිදහස ලැබුනෙ නෑ.එක නිසා කැම්පස් ආවට පස්සෙ පහුගිය ඒවටත් හරියන්න ට්‍රිප් යන්න පුලුවන් වුනා :D.
 පළවෙනි අවුරුද්දෙ වුනු තවත් දෙයක් තමයි freshers’ day එක.අපේ කට්ටියගෙ හැකියාවන් බලගන්න එදා හැමෝටම පුලුවන් වුනා.මට ඇත්තටම පුදුමත් හිතුනා අපේ අයගෙ කලා හැකියාවන් දැක්කාම.මොකද මගෙ කලා හැකියාව බිංදුවයි නේ.:D මේ හැමදෙයක්ම මැද්දෙ අධ්‍ය වැඩත් සිදුවුනා.ස්කෝලෙ කාලෙ ගුරුවරු මවපු හීන ලෝකෙනම් නෙමෙයි අත්දකින්න වුනේ.එත් කොහොමහරි xam ටික ගොඩ දාගන්න නම් පුලුවන් වුනා.
පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට අපේ යාළුවො ටික විසිරිලා ගියත් යාලුකම තාමත් හොඳට තියෙනවා.හොඳම කාලෙ පටන් ගන්නෙ මම tronic ආවට පස්සෙ.මේක දැන් දිග වැඩි වෙන නිසා ඒ ටික ඊළඟ ලිපියෙන් ලියන්න හිතුවා.