Thursday, June 13, 2013

අහම්බයක්ම නොවූ ගුවන් යානා සිහිනය-II

G-22  මාධ්‍යයන් වෙතට ගියේ අප ද නොසිතූ ලෙසය.මේක මගේ කතාව නිසා අහම්බයක්ම නොවූ ගුවන් යානා සිහිනය ගැන කීමට G-22 වලට පෙර තවත් සිද්ධි කිහිපයක් සිහිපත් වේ.අහම්බයක්ම නොවූ ගුවන් යානා සිහිනය-I

කාලවකවානුව:2001
ස්ථානය:රත්මලාන ගුවන් හමුදා කඳවුර

ගුවන් හමුදාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන දැවැන්ත ප්‍රදර්ශනයකි.පළමුවරට ගුවන් යානයක් ආසන්නයට යාමට හැකි වූයේ එහිදීය.තටුවේ ඇති විශේෂ හැඩය නිසා ගුවන් යානයක් ඉහල යනබව දැනගත්තේ එදාය.කුඩා ගුවන් යානා ආකෘති දුටු විට නැවතත් යටපත්ව තිබූ ගුවන් යානා සිහිනය මතුවිණි.රෙජිෆෝම් කාඩ්බෝඩ් වලින් විවිධ ආකාරයේ ගුවන් යානා සෑදීමට දැරූ උත්සහය ව්‍යවර්ත වූ විට කඩදාසි රොකට් සාදා වහලය මත සිට  යැව්වේ කොහොම හැදුවත් ඒවා උඩ යන බැවිනි.

කාලවකවානුව:2006
ස්ථානය:රොටරි ආයතනය
ටිල්නි ද සිල්වා සර් බර්නුලි සිද්ධාන්තය පැහැදිලි කරමිනි සිටී."ගුවන් යානා පියාසර කරන්නේ බර්නුලි මූලධර්මයට අනුවයි.යානයේ තටුව මතින් ගමන් ගන්නා වාතය...." මම පාඩමෙන් මිදී සිතුවිලි අතර සිරවීමි.ගුවන් යානා සෑදීමට ගත් උත්සහයන් රූප රාමු පෙලක් මෙන් මතකයට ඇදී ආවේය.එහෙත්....නැවතත් උත්සහයක් දරා බැලීමට කාලයක් නොමැත.උසස් පෙළ විභාගය ලඟ එයි.සිහිනය තව දුරටත් සිහිනයක් ලෙසම තැබුවෙමි.

කාලවකවානුව:2011
ස්ථානය:ENTC

මේ අප සය මසක කාලයක් සඳහා කාර්මික ක්ෂේත්‍රයේ පුහුණුවට පිටත් වීමට සූදානම් වන කාලයයි.අපගේ උපාධිය විද්‍යුත් හා විදුලි සංදේශ වුවද මුල් කොටසට පමණක් කැමති මා වැනි අය හට යාමට ආයතන තිබුනේ අතේ ඇඟිලි ගණනකටත් අඩුවෙනි.මා තෙරුනු ZTE පසෙක දමා කිසිවෙකු ඉල්ලුම් නොකල ගුවන් හමුදාව තෝරාගන්නට  සිතුනේ ගුවන් යානා සිහිනය නිසා දෝ යැයි දැන් මට සිතෙයි.ඒ සය මසක කාලය තුල නියමුවන් රහිත ගුවන් යානා පිළිබඳව බොහෝ දේ දැනුමට එකතු කර ගැනීමට හැකිවිණි.


Wednesday, May 22, 2013

අහම්බයක්ම නොවූ ගුවන් යානා සිහිනය..-1



කාලවකවානුව:1997
ස්ථානය:ශාස්ත්‍රානන්ද දහම් පාසල,දෙහිවල                                                          

තරුණ බොදු සමිතියක් මඟින් දහම් පාසලෙහි දරුවන් සඳහා වැඩසටහනක් පවත්වනු ලබයි.ධර්ම ශාලාවේ දිගබංකු මත වාඩි වී සිටි විවිධ වයස් වල සිසුන් අතර මමද සිටිමි.සිසුන් වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් වේ..  
"කවුද කැමති කවද හරි ගුවන් යානයක් හදන්න?"
සියල්ලෝම නිහඬය."මම කැමතියි" එය කෙසේ මගෙ මුවින් පිටවුනේදැයි කල්පනාවට ආවේ මගේ පිළිතුරත් සමඟ සිසුන්ගෙන් නැඟුනු සිනහවත් සමඟය.එත් දැන් පරක්කු වැඩිය.
"අන්න එහෙම තමයි මල්ලි ඉන්න ඕනෙ.කවද හරි ගුවන් යානයක් හදන්න පුලුවන් වෙන්න කියල අපි සුබපතනවා.මේ පොඩි තෑග්ග ඔයාගේ ඉදිරිපත් වීම වෙනුවෙන්" ප්‍රශ්න නැඟුව අය්යගේ ඒ වචනත් සමඟ සිනාහඬ නැතිව ගියේය.පුංචි ආඩම්බරයක් හිතට දැනුනේ ගුවන් යානා ගැන ලියවුනු සඟරාව ලැබෙන විටදීය.ඉංග්‍රීසියෙන් ලියාතිබූ එහි කිසිවක් නොතේරුනත් රූප බලමින් සිටින විට ගුවන් යානා සිහිනය මටත් නොදැනීම යටි සිතට කාවදින්නට ඇත.


කාලවකවානුව:1999
ස්ථානය:පාසල,නිවස                                                                                          

පාසලේ විද්‍යා ප්‍රදර්ශනය අදයි.ස්වයංක්‍රීය වීදිපහන් පද්ධතියක ආකෘතියක් සමඟ මමත් ප්‍රදර්ශනයේ සාමාජිකයෙකු වී ඇත.ප්‍රදර්ශනය ඇතුල්වන ඕනෑම කෙනෙකුගේ අවධානයට යොමුවන ප්‍රදර්ශන භාණ්ඩයක් වෙත මගේ නිරන්තර අවදානය යොමු වේ.එය වහලයේ එල්ලා ඇති කුඩා ගුවන් යානයකි.ඉදිරිපස ඇති රූම්පෙත්ත මෝටරයකින් කැරකවෙන විට කුඩාගුවන් යානය වෘත්තාකර පථයක යමින් ක්‍රමයෙන් ඉහලට යයි.එදා නිවසට ගොස් රු.20 මෝටරයක් කාඩ්බෝඩ් වලින් සෑදූ ගුවන් යානා සැකිල්ලකට සවිකොට වහලයේ එල්ලා විදුලිය ලබා දුන්නෙමි."අම්මේ මෙන්න ප්ලේන් එක උඩ යනවෝ..".උසස් පෙළදී වෘත චලිතය පාඩම කරන විට ගුවන් යානය මතක් වී මටත් නොදැනීම සිනහවක් මතුවිය.එය පියාසර කිරීමක් නොව නිකන්ම නිකන් වෘත චලිතයක් පමණි.




Wednesday, July 4, 2012

ජයග්‍රහණයේ කතාව-2



Annual robot competition  එක දිනපු සුබෝධ මල්ලිගෙ comment එක දැක්කාම තමයි බ්ලොග් එක මතකයට ආවේ.ජයග්‍රහණයේ කතාවේ දෙවෙනි කොටස ලියන එක අමතක වෙලාම ගිහින් තිබුණෙ.පළවෙනි කොටස කියවපු නැති අයට ජයග්‍රහණයේ කතාව-1
2009 iNexus ඉවර වෙනවත් එක්කම වගේ අපිට Annual robot competition  එකට සුදානම් වෙන්න වුණා.තරඟයට කලින් දවසෙ රෑ වෙනකොට අනික් අයට හොඳ අභියෝගයක් දෙන්න පුලුවන් තත්වයක රොබෝ හිටියමුත් මම කරපු ලොකු වැරදි තුනක් නිසා අවාසනාවන්ත විදියට අවසානයේදී ලබාගන්න පුලුවන් වුනේ සිව්වන ස්ථානයයි.කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතෙන නිසා, මම කල මම කරපු පළමු වැරැද්ද තමා වෙනත් කණඩායමක sensor එකක් ඔවුන්ගේ තරඟවටයට පසු හුවමාරු කර ගැනීමට සිටීම.ඊළඟ වැරැද්ද තමා තරඟයට මොහොතකට පෙර code එකේ වෙනස් කමක් කිරීම.අනිත් එක තමයි restart එකදි ක්‍රියාකලයුතු ආකාරය ගැන සැලකිලිමත් නොවීම.මේක දැන් රොබෝ පාඩමක් වගේ වෙන නිසා වැඩි විස්තර කියන්නෙ නැහැ.
            නැවත වරක් ඉතා අවාසනාවන්ත විදියට පළමු වටයෙන්ම ඉවත්වන්න සිදුවුණේ රුහුණු සරසවියෙ පැවති eFor RoboGames තරඟයෙන්.තණ්හාය ජායතී සෝකෝ යන බුදුවදන පසක් කරමින් වැඩි ඝනක ගණනක් එකවර ගැනීමට නිර්මාණය කල අපේ රොබෝ පළමු වටයෙන්ම ඉවතට විසිවුණේ තරඟයේ ජයග්‍රහණ වරකට එක බැගින් ඝනක එකතු කල චානකගේ රොබෝට හිමිකර දෙමිනි.
IESL robot competition  එකන් සිව්වන ස්ථානය ගෙන 2010 inexus වලට සූදානම් වුණේ අලුත් බලාපොරොත්තුද සමඟිනි.එවර අපේ batch එකෙ සිටින හොඳම පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමක් නිර්මාණය කිරීමට අපට හැකි විය.අපේ ජයග්‍රහණයේ මූලික අඩිතාලම මෙය වූ බව මගේ හැඟීමයි.trical එකෙන් නිපුන එහෙමත් නැත්නම් අපි දන්න විදියට ගැජට්,cs එකෙන් හිරන්ත,tronic එකෙන් නිරෝශන්,චානක,මම සමඟ දෙවන වසරෙ අමිල අපේ කණ්ඩායමේ සාමාජිකයන් වුණා.
කණ්ඩායම් හැඟීමත් කැපවීමත් විශේෂයෙන්ම වාසනාවත් නිසා පළමුවරට රොබෝ තරඟයක් ජය ගැනීමට අපට හැකි වුණා.එහෙදී ඇතිවුණ හැඟීම මට වචන වලට නඟන්න බැහැ.වසරක් මුලුල්ලේ කල කැපවීම් වල අවසාන ප්‍රතිඵලය..


 ලංකාවේ තරඟය  ජයග්‍රහණය කිරීමත් එක්කම අපිට ඉන්දියාවේදී පැවැත්වෙන අන්තර්ජාතික තරඟයට සහභාගීවීමට අවස්ථාව ලැබුණා.අපේ කණ්ඩායමෙන් මමත් නිපුනත් දෙවන හා තුන්වන ස්ථාන ලබාගත් කණ්ඩායමුත් ඉන්දියාවේ පැවැත්වුණු තරඟයට සහභාගී වුනා.එහෙදි ලැබුන ආගන්තුක සත්කාර ගැන හිතනකොට අපේ මිනිස්සු කොච්චර හොඳද කියල හිතුනා.ඉන්දියා ගමන ගැනනම් වෙනම ලිපියක් ලියන්න තරම් දේවල් තිබුණත් robot competition එක ගැන විතරක් ලියන්නෙ ලිපියේ අරමුණ ඒක වන නිසයි.
අපිට කොහොම සත්කාර කලත් IIT එකට ස්තුතිවන්ත වෙන්න ඕනෙ ලංකාව වගේ රටකට මේ අවස්ථාව ලබාදීම ගැන.තරඟයට සහභාගි වුනු අනික් රටවල් ගැනත් යමක් කියන්න හිතුවා.ඉන්දියාවේ රොබෝ උපාංග ඕනෑ තරම් තිබුනත් ඔවුන්ගේ හැකියාවන් අඩු මට්ටමක තිබුන අතර ඉන්දියාවෙන්ම ආනයනය කල උපාංග වලින් නිර්මාණ කල අපේ රොබෝවන් ඊට වඩා ඉහල මට්ටමක තිබුනා.තායිලන්තයත් ඕස්ට්‍රේලියාවත් ඉතා හොඳ මට්ටමේ රොබෝවන් ඉදිරිපත් කර තිබුනා.අපට නොමිලේ ලැබුනු ටිකට් වලින් හය දෙනෙක් පමනක් ලංකාවෙන් යනවිට තායිලන්ත කණ්ඩායම වෙනුවෙන් පහළොවක පමණ පිරිසක් පැමිණ හිටියා.batch එකේ මිතුරන්ගෙන් ඉල්ලාගත් කොටස් වලින් අපේ රොබෝ සමන්විත වුනේ අපට තිබුණු සීමිත සම්පත් උපයෝගී කරගනිමිනුයි.එසේ වන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ  තවත් රොබෝ කෙනෙක් සෑදීමට තරම් ප්‍රමාණවත් අමතර උපාංග තිබුණා.

අවාසනාව නැවත වරක් අප පසුපස හඹා ආවේ knock out ක්‍රමයට පැවති  තරඟ වලින් අප කණ්ඩායම් තුනම ඉවත් කරමිනුයි.තරඟය පෙර ඉතා හොඳින් ක්‍රියාකල රොබෝවන් තරඟයේ අපව පාවාදෙනු ලැබුවේ අපගේ නෙතට කඳුලක් එක්කරමිනි. පරාජයත් සමඟ සංදීප sri lankan competition එක දිනපු වෙලේ දාපු comment එකකින් ජයග්‍රහණයේ කතාවෙ දෙවෙනි කොටස ඉවර කරන්න හිතුවෙ  iNexus 2011 තරඟය ගැන ඊලඟ ලිපියට කල් දමමින් "මොහොතක පරාජය යනු සිහිවටනයක් බඳු වූ ජයග්‍රහණයක් උදෙසා තබන යෝධ පියවරකි"




Sunday, March 18, 2012

ජයග්‍රහණයේ කතාව-1

ගොඩක් කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවේ.මේක ගොඩක් කල් ඉඳන් ලියන්න හිටියත් කැම්පස් එකේ වැඩත් එක්ක ලියන්න වෙලාවක් හොයාගන්න බැරිවුනා.සිහින රාත්‍රිය ගැන ලිව්වට පස්සෙ ආයෙත් හීනයක් ගැනම තමා ලියන්නෙ.මේක අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් තිස්සේ දැකපු හීනයක්...ඒත් අන්තිමට සැබෑ වූ හීනයක්..ඒ තමා iNexus.අපි අවුරුදු දෙකක් තිස්සෙ ආපු මේ ගමන ගැන ලියන්න හිතුවෙ උත්සහවන්තයා ජයගනී කියන කියමන හැබෑවක් කියල පෙන්නන්නත් එක්ක.
මට මතක විදියට මේ ගමනෙ ආරම්භය වුනේ 2009 සැප්තැම්බර් මාසෙ දවසක.ලෙක්චර් එකක් ඉවර වුනාම ලෙවල් 4 එකේ අය්යල කට්ටියක් ඇවිත් කිව්ව iNexus කියල robo competition එකක් තියෙනවා කියල.ඒ වෙනකොට අපි tronic එකට ඇවිත් වැඩි දවසක් නෑ.මමයි හිරන්තයි විනෝදාංශයක් විදියට electronic වැඩ කරන නිසා මේකට පොඩි උත්සාහයක් දාල  බලන්න හිතුනා.අපේ ටීම් එකට බුද්ධික යි චාමික යි එකතු වුණා.ඒත් අපිට රොබෝල හදල අත්දැකීම් තිබුණෙ නැති නිසා අපි අතින් ගොඩක් වැරදි වුනා කියලා පස්සෙ මට හිතුනා.

අන්තිම කාලෙ කට්ටියම අපේ ගෙදරට එකතු වෙලා මේක හදන්න ගොඩක් මහන්සි වුණා.මගේ කාමරේ අස්කරල ඇඳත් ගලවල පැත්තකින් තියලා කාමරේ පිරෙන්නම arena එක හැදුවා.arena එකේ තමා ඒ දවස් වල නිදාගත්තෙත් :D.ඒත් මාස ගානක මහන්සිය කැපකිරීම් අපතේ ගියේ තරඟය දවස වෙනකොටත්  අපිට කරගන්න පුලුවන් වෙලා තිබුණෙ line following කරන්න විතරක් නිසයි.අන්තිමට උදාන(පැන්ඩා) අය්යා කියපු නිසා අපි රොබෝව arena එකෙන් තිබ්බෙ අඩුම ගානෙ සහභාගී වීම වෙනුවෙන්වත් සහතිකයක් ගන්න හිතාගෙන.tronic එකෙ බැල්කනි වලට වල කට්ටිය පිරිලා ඉන්නකොට ,නිවේදනය කරපු අය්යා රොබෝ පිස්සු නටනකොට කියපු කතා ඇහුනාම දැනුනු හැඟීම වචනයෙන් විස්තර කරන්න බැහැ.අපි ඒක වෙනුවෙන් කරපු කැපවීම් අනික් අය දන්නෙ නැහැනෙ.රොබෝ වැඩ කරන හැටි දැක්කාම අපි හොඳ තරඟයක් දෙයි කියල හිතන් හිටි අයගෙ බලාපොරොත්තු සුන්වෙලා ගියා.




අන්තිමට පැන්ඩා අය්යා කිව්වෙ "මල්ලි මේකෙන් වැඩේ අතාරින්න එපා,අපි ගියපාර හදපු රොබෝ හෙලවුනේවත් නෑ" කියල.ඒ වචන ටික ලොකු ශක්තියක් වුනා.මම පැන්ඩා අය්යව ගෞරවයෙන් මතක් කරන්නෙ මුල ඉඳලම අපේ පස්සෙන් ඉඳලා අන්තිම මොහොතෙත් අපිව දිරිගන්වන්න ගත්ත උත්සාහය අගේ කරමින්. කොහොම වුනත් අපි මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. රොබෝ කියන්නෙ හරියට ජීවිතෙ ගැන කියවෙන පාඩමක් වගේ.හරිම අවිනිශ්චිතයි.අපි බලාපොරොත්තු වෙන දේ ඒ විදියටම වෙන්නෙ ගොඩක් කලාතුරකින්.සරල වෙන තරමට ප්‍රශ්න අඩුයි.ප්‍රශ්නයක් ඇති වුනත් විසඳන්න ලේසියි.කොතරම් දක්ෂ වුනත් තරඟයක් ජයගන්න වාසනාවත් තියෙන්න ඕනෙ.මේ වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ පරාද වෙලා එතනින් නවතින්න නම් නෙමෙයි.වුණු වැරදිත් හදාගෙන ඊලඟ අවුරුද්දෙ ජයග්‍රණය කරන්න හිතාගෙන.ඒක ගැන ඊලඟ ලිපියෙන් කියන්නම්.. 

Saturday, December 31, 2011

සිහින රාත්‍රිය-E NITE 2011

අප නොයෙකුත් සිහින දකින්නෙමු. නමුත් ඉන් බොහොමයක් අයිති වන්නේ තමත්මන්ගේ සිහින ලෝක වලටයි.ඒත්සිය දෙනෙක් එකම සිහිනයක් දකිනා විට.. සිහිනය සැබෑවක් කරගැනීමට වෙහෙස වන විට සිහින දෙව්දුවට එය සිහිනය සැබෑවක් බවට පත් නොකර සිටීමට නොහැකි වී ඇති සෙයකි.E-NITE 2011 යනු සියදෙනෙක් ගේ සිහින ලෝකවල සම්ප්‍රයුක්තයයි.
මේ සිහිනය පිළිසිඳ ගන්නේ  ගියවර E-NITE තුලිනි.අය්යලා අක්කලා අපිට ලබාදුන් අභියෝගය ජය ගැනීමට අදිටන් කරගත් අපි වසරක් ඇවෑමෙන් කෙලෙසකින්වත් මල් යහනා මතින් ගොඩනැඟුනක් නොවුනු ,කටු අකුල් බාධක මැදින් නිමැවුනු එකක් වූ එය ජය ගැනීමේ සතුට භුක්තිවිඳිමින් සිටිමු.
ENTC අපි සාපේක්ෂව වෙනස් නිසා අපි සම්ප්‍රදායක් ලෙස E-NITE එක පවත්වන්නේ සරසවි බිමේදීමය.අනික් NITE වල මෙන් උත්සව ශාලාවක අමුත්තන් වනවාට වඩා අපේ තැන අපේම සිහින ලෝකයක් ඉදිකර ගන්නේ අපි සිහින දැකිය යුත්තේ අපේ ලෝකවල මිස අනුන්ගේ ලෝකවල නොවන හෙයිනි. 
        ෂර්ලොක් හෝම්ස් මෙවර තේමාව කරගත් අපි Old-Gym එක ෂර්ලොක් හෝම්ස්ගේ කාමරය බවට පත්කලේ අධ්‍යාපන මෙන්ම කලාවටද එකසේ දක්ෂබව පෙන්නුම් කරමිනි.ගීතයෙන් නැටුමෙන් සංගීතයෙන් හැඩ වූ සිහින රාත්‍රිය ගැන මම නොකියන්නේ එය වචනයට පෙරලිය නොහැකි ඇසින් බලා කනින් ඇසිය යුතු දෙයක් නිසාවෙනි.හිට්ලර් පවා E-NITE නොබලන මේ දෑස කුමකටදැයි පසුතැවුනේ එහෙයිනි.
BatchVideo එක, ආදර ගීතය, දෙකටම වඩා එවා රූගත කිරීමේ සිදුවූ අපමණ රසවත් සිදුවීම්, කෙසේ අමතක කරන්නද..
මේ සිහිනය සිහිනයක් පමණක් නොවී සැබෑවක් කරන්නට උරදුන් හැමදෙනාම මෙහි සඳහන් කරන්නට නොහැකි වුනත් කෙලෙසකින් වත් අමතක කල නොහැකි නම් ටිකක් මෙහි පලකරන්නේ ඔවුන් නොමැතිව මේ සිහිනය කෙදිනකවත් සැබවක් බවට පත්කල නොහැකි වන හෙයිනි.
මේ සිහිනය මීට වසරකටත් පෙර සිටම දකින්නට වූ Level 3 Batch Repලා වූ චන්දිම,හසිත්,ලක්මාල්,සංදීප හා සුනාරි E-NITE එක වෙනුවෙන් මුදල් රැස්කර මූලික අත්තිවාරම දැමූහ.මසක අධික කාලයක් පුරා කැපවීමෙන් පුහුණුවී අපව ගීතයෙන් සංගීතයෙන් පිනවූ හොමේශ්,රයන්,සාරංග,තුෂාර,ප්‍රබෝධ,,පුබුදු,චූලක,පැතුම්,අශේන්,ශානිකා මෙන්ම කණ්ඩායක් ගී ගැයූ සියළු දෙනාද නර්ථනයේ අපව ප්‍රබෝධමත් කිරීමට කකුල්වල  දියපට්ටා එනතුරු වෙහෙස වූ චන්දිම,දමිත්,ජනිත්,සුනාරි,කුමුදුනී මෙන්ම හසිනි අපේ තේමාවේ ෂර්ලොක් හෝම්ස්ට පණපෙවූ අශෝක්,වොට්සන් වූ හසිත්,ලෙස්ට්‍රේඩ් වූ විජය මෙන්ම රවිඳු ගේ හැකියාවන් සැමදා මතකයන් තුල ජීවත් වනු ඇත.
ආදර ගීතයට රංගනයෙන් දායක වූ ජනිත්,ශානිකා,ගනුශ්ක මෙන්ම ලක්මාල්   එතරම් අවධානයක් ලක්නොවී තිබූ ගීයක් ජනප්‍රිය කිරීමට සමත් වී තිබේ.සමරු පොත නිර්මාණයට දායක වූ චාමික,සුනෙත් හා හසිත් පරිගණක නිර්මාණ වලින් දායක වූ රජිත්ගේ සේවයද මතකයට නැඟේ.
යටිතල පහසුකම් සැපයීමට වෙහෙස වූ ආබිද් ගීතවල තිර රචනයට දායක වූ ලක්ශිත,දිනුත් ඇතුලු සියලු දෙනාද අවසන් සතියේ දිවා රෑ නොබලා Videos සංස්කරණය කල දිනුත් ගේ කැපවීමද තේමාවේ තිර පිටපත රචනා කල සංදීපගේ මෙහෙයද නිරෝශන්ගේ හා භාතියගේ අදහස් හා මඟ පෙන්වීම යටතේ Old-Gym එක ෂර්ලොක් හෝම්ස්ගේ කාමරය බවට පත්කල සියළු දෙනා සිහියට නැඟේ.ගනුවා හපනා යන කියමන සනාථ කරමින් Promo Video එක හැදූ ගනුශ්කද මඩ ව්‍යාපාරය ශක්තිය සැපයු අසන්ත මිගාර ඇතුලු හැමදෙනා උත්සහයද අගය කල යුතුය. 
නේවාසිකාගාරයේ කාමරයකට එකතු වී අඩුපාඩු ගැන සොයමින් ,වියයුතු දේ ගැන සාකච්ඡා කරමින් E-NITE සිහින්ය පිළිසිඳ ගත් දින සිටම මේ සඳහා කැපවුනු චන්දිම,සංදීප,දිනුත්,ලක්මාල්,ගනුෂ්ක ඇතුලු හැමදෙනාමද  සිහිනය සැබෑවක් කිරීමට වෙහෙස වූ Level 4 Batch Repලා වන රංග,විදුනෙත්,කසුන් හා නේතාංජලී මේ සිහින මන්දිරයේ අත්තිවාරම බවට පත්විණි.  මෙතන සඳහන් කරන්න නොවුනු E-NITE එක සාර්ථක කරගන්න වෙහෙස වුනු කැපවුනු තව විශාල පිරිසක් සිටිනමුත් ලිපියේ දිග වැඩිවන නිසා නම සඳහන් කිරීමට නොහැකි වීම ගැන සමාව අයදිමින් සංදීප ENTC '08 ගැන සමරු පොතේ පලකල ලිපියේ කොටසකින්ම ලිපියට නැවතීමේ තිත තබමි.

"කවදාක හෝ මේ සියළු මතකයන් අතීතයට භාරකරල සමුඅරගෙන යන්න සිදුවුනත් මේ මතකයන් නිසාවෙන් නෙත් කෙවෙනි තෙත්වෙන එක නවත්වන්න නම් කිසිවෙකුටත් පූලුවන් වෙන එකක නෑ..
මගේ සහෘදයෙක් වුනු බදුල්ලෙන් ආපු ආබිද් ENTC 08 FB group එකට මෙහෙම කවියක් ලිව්වා.මගේ මුලු කතාවම ඒ කවියෙ තියෙනව කියල වෙලාවකට මට හිතෙනවා.
මුල් වසරේ ඒ,බී,සී කුමක්වුවත්..
ට්‍රේනිං ගියේ මොන කොම්පැනියකට වුවත්..
ආවේ ගමින් සිදාදියේ දුරින් වුවත්..
ට්‍රොනික් අට නම් එක පවුලකි කුමක් වුවත්..
"