Saturday, November 26, 2011

බෝපතක සිසිල..ලේවායක සුවඳ..කැලෑවක අසිරිය..පොල්හේනක මිහිර...ආගන්තුක නොවූ සත්කාරයන් මැද මිතුදමක මහිමය

පලටුපාන ලේවායට ඉහලින් මෝදුවන ඒ සඳ,පුන්සඳක් වීමට තිබුණේ තවත් එක් දිනකි.හොමේශ්ගේ ගිටාර් හඬට මුසුවූ දිනුත්ගේ බොංගො නාදය ඒ සඳකැන් වලින් නැහැවුනු රැයේ නිහඬ බව බිඳ දැම්මේ අප සඟයන්ගේ ගී හඬට මුසු වෙමිනි.ඒ රැයේදී සල්මල් වැල් අතරින් ලස්සන ලෝකයේ ආදරය සොයා යාමට සිතාගෙන නොව මැවිසුරන්ගේ චාරිකා වල සිව්වන පරිච්ඡේදය සටහන් කිරීම සඳහා එදින අළුයමින් කටුබැද්ද සරසවියේ අපි පිටත් වීමු.
අසෝක් මූණුපොතේ දමා තිබු ඉංග්‍රීසි භාෂාවේ අලුත්ම වචනය වන 'TRIPPING' වල තේරුම සොයන්නට යාමෙන් පමා වු අසන්තව කැස්බෑවෙන් බසයට  නංවාගත් අපේ ඊලඟ නැවතුම වුනේ අමිතිරිගල, නලීන් අය්යාගේ වැඩබිමයි.අසන්තගේ අවසන් වසර ව්‍යාපෘතිය ගැන මෙහි සඳහන් නොකල හොත් අඩුවක් ලෙස සිතෙයි.

මිතුරන්: අසන්ත,මොකෝ මචං F‍YP එකට වෙන්නෙ
අසන්ත: එකෙ අපි හතර දෙනා වෙන වෙනම ප්‍රොජෙක්ට් හතරක් කරනවනෙ,තව ලොකු එකක් වෙනම යනව
සුනෙත්:මොකද්ද ප්‍රොජෙක්ට් එක,වෙසක් කූඩුවක් ද?  පැටව් හතරයි ලොකු කූඩුවයි නේ..

මේ කතා වලින් නැඟුන සිනා හඬින් අමිතිරිගල ගම්මානයේ නිහඬ බව බිඳ වැටිනි.නලීන් අය්යාගේ .
 සත්කාර වලින් පසු අපේ ඊලඟ නැවතුම වුනේ බෝ පත් ඇල්ලයි.ඇසට සොඳුරු දසුන් මවාපෑමුත් අප තිදෙනෙකුගේ කැමරා බිලිගත්තේ ඒ සොඳුරු බවට යටින් ඇති බිහිසුණු බව සිහිකරවමිනි.හෝරාතුනක් පමණ මට පිංදෙමින්  පැල්මඩුල්ල නගරයට වී අප එනතෙක් බලා සිටි ආබිද්ව පළමුවර බසයට නංවා ගෙන අපේ ගමනාන්තයට කෙමෙන් කෙමෙන් ලඟා වීමු
තිස්ස වැවේ සිසිල් දියේ ගිලෙමින් ගමනේ විඩා නිවාගෙන පලටුපාන ලේවායේ සංචාරක බංගලාවට පැමිණිමෙන් අනතුරුව වූ සිදුවීමකිනි ලිපියට මුලපිරුවේ.ඒ පැදුරු සාජ්ජෙන් අනතුරුව අසන්තගේ රසකතා,විකියාගේ ඒ කාලේ කතන්දර වගෙම සුනෙත් කලබලෙන් කියූ කතා අසමින් නොනිඳා රැය පහන් කල අය අතරට මමද එක් වීමි.මැදියම් රෑ බංගලාව අසලින් යන අලියා දකින්නට සිටිමුත් ඌ එන හැඩක් නොතිබූ නිසා වැලිකන්දෙන් එහා තිබූ පලටුපාන වෙරළ දැකීමට ගිය මට සිහි වුනේ අප පානම වෙරළේ ගෙවූ මෙවැනිම සඳ ඇති රාත්‍රියයි.  

පසුදා උදෑසන සෆාරි ජීප් පහක නැඟී එක පෙලට යාල වනෝද්‍යානය තුල සැරිසැරූ අපට පොරොන්දු ඉටුකරමින් දිවියා තම පෙම්වතියද සමඟ පැමිණ සිටිනු දැකගත හැකි විය.
ආපසු එන අතර බසයෙන් හොරෙන්ම බැසගොස් තිබුනු ආබිද් ගැන මතක් වුනේ ගමන අරඹා ටික දුරක් යනවිට ඔහුගෙන් ලැබුනු ඇමතුම නිසාවෙනි. බසය ආපසු හරවාගෙන ගොස් දෙවන වතාවටද ආබිද්ව චාරිකාව සඳහා එකතු කරගැනුනි.බසයේ ඉබි ගමන හුම්මානයට යන්නට තිබූ මඟ ඇහිරුවද පොල්හේන වෙරළේ  හුලං ගැසූ ටියුබයට පොරකමින්ද පිරමිඩ් තනා 'මෝරා' පාරක් දමමින්ද වෙරළේ පැය දෙකක් පමණ සිත් සේ විනෝද වෙමින් ගතකල කාලය නිසා ඒ අඩුව නොදැනුනි.මාතරින් විදුනෙත්ගෙන්ද ගාල්ලෙන් සංදීපගෙන්ද ආගන්තුක නොවූ සත්කාර ලබමින් අසන්තගේ හා රංගගේ බොංගෝවෙන් වැයුනු රබන් පද අසමින් අපි සරසවියට පැමිණුනෙමු.


මේ ගමනට උරදුන් විදුනෙත්,රංග,නේතාංජලී,කසුන්,නලීන් අය්යා,සංදීප,චන්දිම,ආබිද්,චානක,දිනුත්,සුනාරි හා නම්සඳහන් කරන්න බැරිවුනු හැමදෙනාටම ස්තූතිවන්ත වෙමින් පස්වෙනි පරිච්ඡේදයත් ලඟදිම සටහන් කිරීමේ බලාපොරොත්තුවෙන් නවතින්නෙමි.