Saturday, June 25, 2011

Cruncher 2011 අපි සූදානම්! ඔබ සූදානම් ද?

 Cruncher 2011 කියන්නෙ මොකක්ද කියල මේ වෙනකොට හුඟ දෙනෙක් දන්නවා. නොදන්න අය Cruncher 2011 පලවුනු  ලිපිය මෙතැනින් කියවා බලන්න. Cruncher 2011 හි ප්‍රචාරණ කටයුතු අරඹා දැනට සතියක් පමණ වෙනවා. මේ කෙටි කාලය තුල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මෙන්ම පරිගණක ක්‍රීඩා පිළිබඳව උනන්දුව ඇති අයගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර මේ සඳහා ලැබුනි. මෙය ලාංකේය පරිගණක ක්ෂේත්‍රයට නව ප්‍රවේශයක් ඇති කරන්න හේතු වනු ඇති බවයි බොහෝ දෙනාගේ අදහස.

මේ තරගාවලියේ විශේෂත්වය තමයි පරිගණක ක්‍රීඩා නිර්මාණය පිළිබඳ  අවබෝධයක් නොමැති අයෙකුට වුවද තරඟ වැදිය හැකි වීම .ඔබට උනන්දුව හා කැපවීම තිබේ නම් පරිගණක ක්‍රීඩා සරලව නිර්මාණය කල හැකි මෘදුකාංග ඕනෑ තරම් අන්තර්ජාලයෙන් සොයා ගත හැක. දැනට ලෝකයේ ප්‍රසිද්ධ Game Engines ලයිස්තුවක් විකිපීඩියා වලින් බලා ගත හැක. http://en.wikipedia.org/wiki/List_of_game_engines
ඊට අමතර මයික්‍රොසොෆ්ට් සමාගමේ Kodu,ජේමිස් බණ්ඩා වැනි ක්‍රීඩා නිර්මාණය කල FPS Creater, Game Maker, Unreal මෘදුකාංග සරලව, ඉතා සංකීර්ණ පරිගණක ක්‍රීඩා නිර්මාණය කල හැකි මෘදුකාංගයි.නමුත් මතක තබාගතයුතු විශේෂ කරුණක් වන්නේ විනිශ්චයේදී ක්‍රීඩාව නිර්මාණය කරන ලද මෘදුකාංගය කෙරෙහිද අවධානය යොමුවන බවයි.මක්නිසාදයත් අවසානයේදී ජයග්‍රාහකයා වියයුත්තේ ඔබ මිස ඔබ යොදා ගත් මෘදුකාංගය නොවන බැවිනි.
මා කලින් සඳහන් කල පරිදි Cruncher 2011 වලට සහභාගී වීමට පරිගණක ක්‍රීඩා නිර්මාණය පිළිබඳ අවබෝධය අවශ්‍ය වන්නේ නැහැ.Story Board තරඟ අංශය ඇත්තේ නිර්මාණශීලී ඔබ වෙනුවෙන්මයි. පරිගණක ක්‍රිඩාවක් සඳහා කතාවක් ලිවීමෙන් ඔබට මෙම තරඟ අංශයට සහභාගී විය හැකියි.මූලික කතාව,ක්‍රීඩාවේ ඇති චරිත, ඔවුන්ගේ චරිත ලක්ෂණ,හැකියාවන් හා නොහැකියාවන් Story Board එකට අඩංගු වියයුතුයි.
ශ්‍රී ලංකාවේ පරිගණක ක්ෂේත්‍රයේ  Cruncher 2011 හා එක්වීමට සුදානම්.මෙය ඔබගේ හැකියාවන් උරගා බැලීමට මෙන්ම ඔබගේ නිර්මාණ ජාත්‍යන්තර තලයට ගෙනයාමට මහඟු අවස්ථාවක් වනවා නොඅනුමානයි.නොපමාව Cruncher 2011 සඳහා ලියාපදිංචිවන්න.මුලින් ලියාපදිංචි වන්නන්ට වැඩමුළු වලට සහභාගී වීම සඳහා වැඩි අවස්ථා හිමිවේ.

Cruncher 2011  නිල වෙබ්අඩවිය : www.cruncher.lk
Cruncher 2011   නිල බ්ලොග්අඩවියhttp://ieslcruncher.blogspot.com/
Cruncher 2011  ෆේස්බුක් පිටුව : http://www.facebook.com/ieslcruncher
වැඩිවිස්තර සඳහා info@cruncher.lk ට ලියන්න

Saturday, June 18, 2011

Cruncher 2011 පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ තරගාවලිය



පරිඝනක ක්‍රීඩා කිව්වම ඔබේ මතකයට නිතැතින්ම නැගෙන්නෙ මොන වගේ හැඟීමක්ද? සමහරවිට ඔබ වැඩිහිටියෙක් නම් හිතේවි තමන්ගෙ දරුවට විභාග වලදි ලැබෙන ලකුණු අඩු වෙන්නෙ මේ ක්‍රීඩා වලට ඇබ්බැහි වුණු නිසා කියල. ඔබ තරුණයෙක් නම් ඔබේ මතකයට ඒවි ඔබ මෑතකදි ක්‍රීඩා කරපු ඔබ ආසම කරන පරිඝනක ක්‍රීඩාවෙ දර්ශනයක්. බුද්ධිය මෙහෙයවා ජයගත යුතු තීරණාත්මක අවස්ථා, ලොමු දැහැගැන්වෙන ත්‍රිමාණ සජීවීකරණ අත්දැකීම්, අති නවීන පරිඝනක මෙවලම් ඔබේ මතකයට නැගේවි. කොහොම නමුත් මේ ක්‍රීඩාවලට පවතින ආකර්ෂණය නම් දවසින් දවස එන්න එන්නම වැඩි වන බව නම් පැහැදිලියි.

ඉතින් මෙන්න මේ වැඩිවන ආකර්ශණය සහ ක්‍රීඩාවල නිරත වෙන්න අපේ අයගෙ තිබෙන උනන්දුව වෙනත් මානයක් වෙත ‍රැගෙන ගොස් අපේ රටේ තරුණ බුද්ධිමත් පරපුරටත්, රටටත් නව මාවතක් එළි කරල දෙන්න ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) තරුණ සාමාජිකයන්ගේ අංශය(YMS) කල්පනා කළා. එම සංකල්පනාවේ ප්‍රථිඵලය බවට පත් වුණේ Cruncher 2011 පරිඝණක ක්‍රීඩා නිර්මානය කිරීමේ තරගාවලියයි. ශ්‍රී ලාංකේය පරිඝනක ක්‍රීඩා නිර්මාණය කර ඒවා ලෝක මට්ටමට ‍රැගෙන යාම තමයි ඔවුන්ගේ මූලික අභිප්‍රාය. ඒ හින්දම තමයි ඔවුන්ගෙ තේමාව විදියට make games-make global කියල යොදාගෙන තිබෙන්නෙ. ඒ වගේම තමයි මෙවැනි තරගාවලියක් අපේ රටේ පැවැත්වෙන පළමු වතාවත් මේකයි.

කෙනෙකුට හිතෙන්න පුලුවන් ඇයි මේ වගේ දෙයක් මේ අවස්ථාවෙදි කරන්න ඔවුන් හිතුවෙ කියල. අපේ රටට විදේශ විනිමය ගේන්න පුළුවන් රන් දොර‍ටුවක් විදිහට ඔවුන්(YMS) පරිඝණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ ක්ෂේත්‍රය හඳුනාගෙන තියනවා.. ඔබ විශ්වාස කරනවද ඇමරිකා එක්සත් ජනපදය හොලිවුඩය නැමැති ඔවුන්ගේ අතිශය ජනප්‍රිය සිනමා කලාවට වඩා ආදායමක් ඔවුන් ඔවුන්ගේ පරිඝණක ක්‍රීඩා කලාව තුලින් උපයන බව... ඒ වගෙම 2003 වසරේ සිට 2006 වසර දක්වා සැලකීමේදී පරිඝණක ක්‍රීඩා වල වර්ධන වේගය 17% කටත් වඩා වැඩි ප්‍රමාණයකට පත් වෙලා. මේ වනවිට එය තවත් ඉහල ගිහිල්ලා.. ඔන්න ඕකයි ලෝකය තුල මේවාට තිබෙන ඉල්ලුම... YMS එක කියන්නේ මේ ඉල්ලුම සපුරාලන්න අපිටත් අපේ සම්පත් වලින් දායක වෙන්න පුලුවන් බවයි... ඉතින් ඔවුන්ට අනුව මේක තමයි හොඳම අවස්ථාව මෙවැනි තරගයක් සංවිධානය කරන්න.
ඔවුන් මෙම තරගය සංවිධානය කරන්නෙ IESL මගින් සංවිධානය කරන Techno 2011 කියන වාර්ෂික අධ්‍යාපනික සහ තාක්ෂණික ප්‍රදර්ශනයට සමගාමීවයි. තරගාවලිය පිළිබඳ සියළු තොරතුරු ලබාගන්න පුලුවන් www.cruncher.lk කියන වෙබ් අඩවියට ගියොත්. ඒ වගේම IESL Cruncher 2011 කියන Facebook මිතුරු සමාජයට සම්බන්ධ වෙල තරගය පිළිබඳ නවතම තතු විත්ති දැන ගන්න ඔබට පුලුවන්.

පාසල්(school), විශ්ව විද්‍යාල(undergraduate) සහ විවෘත(open) වශයෙන් තරගකරුවන් මූලික වශයෙන් කොටස් 3ක් යටතේ වර්ගීකරණය කෙරෙනවා. එයින් පසුව ඔවුන් ක්‍රීඩා නිර්මාණකරණයට යොදාගන්න පරිඝනක මෘදුකාංග සහ තාක්ෂණය අනුවත් යම් වර්ගීකරණයක් කෙරෙනවා. ඒ වගේම, පරිඝනක ක්‍රීඩාවක් නිර්මාණය කිරීමට දැනුම නැති, නමුත් නිර්මාණශීලී අදහස් ඇති අයට story board යනුවෙන් තවත් තරගයක් පැවැත්වීමටත් කටයුතු කෙරෙනු ඇති. අපේ රටේ පරිඝනක මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් ‍රැසකගේ අධීක්ෂණයට යටත්ව විධිමත් නීති රීති පද්ධතියකින් සමන්විතවයි තරගය ක්‍රියාත්මක වන්නේ. කලින් සඳහන් කළ පරිදි සියලු විස්තර නිල වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන්. ලියාපදිංචි වෙන්නෙ කොහොමද, ඉන් අනතුරුව කළයුතු දෑ මොනවාද වැනි අවශ්‍ය කරන සියලු තොරතුරු ඔබට එමඟින් ලබාගත හැකියි.

ඉදිරිපත්වන සියල්ලන්ට වටිනා සහතිකපතක් පිරිනැමීමටත්, ජයග්‍රාහකයන්ට ආකර්ශණීය මුදල් ත්‍යාග පිරිනැමීමටත් කටයුතු සංවිධානය කර හමාරයි. ඒ වගේම සහභාගි වන්නන්ට මෙම ක්ෂේත්‍රය පිළිබඳවත්, නව තාක්ෂණයන් සහ මෘදුකාංග පිළිබඳවත් නව දැනුම ගෙන දෙන වැඩමුළු පැවැත්වීමටත් සංවිධායක මණ්ඩලය අදහස් කරනවා. ත්‍යාග සහ සහතිකපත්‍ර පසෙකට දැමූවත් අපේ රටේ ප්‍රමුඛ මෘදුකාංග ඉන්ජිනේරුවන් සමග කටයුතු කිරීමට ලැබීමම කොතරම් වරප්‍රසාදයක්ද? ඒ වගේම මෙය අති විශිෂ්ට දක්ෂතා ඇති අයෙකුට තම අනාගතය තීරණය වන අවස්ථාවක් වන්නටත් පුලුවන්.

ඒ වගේම ඔබ නිර්මාණය කරන පරිඝනක ක්‍රීඩා අතුරින් යම් ‍තෝරාගත් ප්‍රමාණයක්
www.cruncher.lk නිල වෙබ් අඩවිය ඔස්සේ සාමාන්‍ය ජනතාවට බාගත(download) කිරීමට අවස්ථාව ලබා දී එමගින් ජනප්‍රියම ක්‍රීඩාව ‍තෝරා ගැනීමේ තරගයක් පැවැත්වීමටත් අදහස් කර තිබෙනවා. ශ්‍රී ලාංකේය ආරකින් (Sri Lankan touch) නිර්මාණය කෙරෙන අපේ ක්‍රීඩා සඳහා ගෝලීය අවධානයක් ලබාදීමේ පළමු පියවර මෙය වනු ඇති.

ඔබ මීට පෙර ක්‍රීඩා නිර්මාණය කර තිබීම අනිවාර්ය වන්නේ නැහැ. වඩා වැදගත් වන්නේ ඔබ කොතරම් නිර්මාණශීලීද යන්න පමණයි. ඉතින් ශ්‍රී ලංකා නාමය පෙරට ගෙන ගොස් "make games-make global" යන තේමාව අරුත් ගන්වන්නට ඔබත් කැමති නම් නොපමාව Cruncher 2011 සඳහා ලියාපදිංචි වන්න. මේ ඔබේ අවස්ථාවයි...

වැඩි විස්තර සඳහා :
ieslcruncher2011@gmail.com
www.cruncher.lk
Lakshitha : 0718359944 Bhathiya : 0772975634 Aabid : 0716390321